ජපාන රූ රැජින ලෙස ඉන්දියානු සම්භවයක් ඇති ජපන් යුවතියක් තේරී පත්ව ඇති බවත්, ද්වීසම්භවයක් ඇති රුවැත්තියක එරට රූ රැජින ලෙස කිරුළු පැළඳි දෙවැනි අවස්ථාව මෙය බවත් විදෙස් වාර්තා පවසයි.
ප්රියංකා යොෂිකාවා නමැති 22 හැවිරිදි ජපාන තරුණිය මෙසේ ජපාන රූ රැජින ලෙස කිරුළු පැළඳ ඇති අතර, ඇය අලින් මෙල්ල කිරීමේ පුහුණුවක් ලැබූවෙකු බවද කියැවෙයි.
පසුගිය වසරේදී ජපාන රූ රැජින ලෙස තේරීපත් වූ අරියානා මියොමොටෝ එවැනි ද්වීසම්භවයක් සහිතව රූ රැජින තරගය ජයග්රහණය කළ ප්රථම රුවැත්තිය විය.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් ද්වීසම්භවයක් ඇති රුවැත්තියන් ජපාන රූමතියන් ලෙස කිරුළු පැළඳීම සම්බන්ධයෙන් එරට තුළ යම් විරෝධයක්ද මතුවී තිබේ.
ඔවුන් පවසන්නේ, මවත් පියාත් යන දෙදෙනොම ජපන් ජාතිකයන් වන රුවැත්තියනට මෙම අවස්ථාව හිමිවිය යුතු බවය.
ජපානය තුළ මෙවැනි ද්වීසම්භවයක් සහිත දරුවන් වසරකට උපදින්නේ 2%ක් පමණ සුළු ප්රතිශතයකි.
කෙසේ වෙතත්, ප්රංශ පුවත් සේවයට අදහස් දක්වමින් යොෂිකාවා මෙනෙවිය පවසා තිබුණේ, තමන් ජපන් ජාතික තරුණියක් බවය. තමාගේ පියා ඉන්දියානුවෙකු වීම ගැන ආඩම්බර වන බවද පවසා ඇති ඇය, ඒ කරුණ මත තමන් ජපාන ජාතිකයෙකු නොවන බව පැවසීම අසාධාරණ යැයි පවසා ඇත.