ප්රංශයේ, කැලේ නගරයේ 'ජන්ගල්' කඳවුරේ සිටි සියලු සංක්රමණිකයන් ඉවත්වීමෙන් පසුවත් ලියාපදිංචියක් හෝ වැඩිහිටි හවුහරණක් නොමැති දරුවන් පිරිසක් කඳවුරේ ඉතිරිවීම තුළ ඇතිවී තිබෙන කලබලකාරී වාතාවරණය සමග කැරලි මර්ධන හමුදා කැඳවා තිබේ.
ඒ අනුව, කිසිදු ලියාපදිංචියක් නොමැති දරුවන් සියයක් පමණ එහි සිටි සියලු සංක්රමණිකයන් ඉවත් කිරීමෙන් පසුවත් කඳවුරු භූමිය තුළ රාත්රියක් ගතකර තිබුණු බව එම කඳවුරට සහන සේවා සපයන කණ්ඩායම්ද මීට පෙර පවසා සිටියහ.
මෙම කැලේ කඳවුර ඉවත් කිරීමට ප්රංශ බලධාරීන් තීරණය කරනු ලැබුවේ එහි කලහකාරී සිදුවීම් මෙන්ම, එය බලවත් තර්ජනයක් ඇති කරන බවට පවතින අවදානමක් සමගිනි. එහිදී, කඳවුරේ සිටි 5,600ක් පමණ සංක්රමණිකයන් ප්රංශය පුරා පිහිටි සරණාගත කඳවුරු වෙත මාරුකර යැවීමට කර තිබුණු අතර, ඉන් 1,500ක් පමණ වැඩිහිටි රැකවරණයක් නොමැති සංක්රමණිකයන් ලෙස ලියාපදිංචි කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම තොරතුරු ප්රංශ බලධාරීන් ප්රතික්ෂේප කළ අතර, මෙහි රැඳී සිටි දරුවන් ජංගල් කඳවුරේ ජීවත් වූ සංක්රමණිකයන් නොවන බවද ඔවුන් අවධාරණය කර තිබුණි.