රජයේ වියදම් අඩුකර ගැනීමේ අරමුණින් කෙන්යානු ජනාධිපතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය සිය පඩි පතින් කොටසක් කපා හැරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යට්ටා මේ බව ප්රකාශ කරමින් කියා සිටියේ, තමා සහ උප ජනාධිපති විලියම් රූටෝ ඔවුනගේ වේතනයන්ගෙන් 20% ක් කපා හැරීමට තීරණය කළ බවය. මේ අතර, සෙසු මන්ත්රීන්ට සිය පඩිපතින් 10% ක් අඩු කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.
මේ ආකාරයෙන් වේතන අඩු කිරීමට අමතරව, විදේශ සංචාරයන්ද සීමා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
මෙම වේතන අඩු කිරීම පිළිගන්නා ලෙස ජනාධිපති කෙන්යට්ටා සියලු මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා ඇති බව පැවසෙයි.
අප්රිකා මහද්වීපයේ වැඩිම වේතනයන් ලබන දේශපාලඥයන් සිටින රට ලෙස කෙන්යාව සැලකෙයි.
මේ තත්ත්වය තුළ කෙන්යාවේ දේශපාලඥයන්ගේ වේතනයන් පිළිබඳ කතාබහ එරට අතිශය සංවේදී සාකච්ඡාවක් බවට පත්ව තිබේ.