චීනයේ, ටින්ජින් නගරයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය පවසයි.
උතුරුදිග ටින්ජින් - ජීෂියාන් අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අධික වේගයෙන් පැමිණි බස් රථයේ ටයරක් පුපුරා යෑමත් සමග රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් එය අසල වූ ජලාශයකට පෙරළී ඇත.
මෙම අනතුරින් ජීවිත බේරාගෙන ඇති හතර දෙනාගෙන් දෙදෙනෙකු මගීන් වන අතර, අනෙක් දෙදෙනා එහි ටිකට් පරීක්ෂක හා සහායක රියදුරුය.
මෙම බස් රථය ෂෙන්යැන්ග් නගරයේ සිට ෂියාන්ග්ටි වෙත ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය අයගේ සිරුරු මෙන්ම බස් රථයද ජලාශයෙන් ගොඩට ගත් බව ෂිංහුවා පුවත් සේවය පවසයි.