චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක් වෙත ඉස්ලාමීය අන්තවාදීන් විසින් අද (21දා) උදෑසන එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
පුපුරන ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථයක නැගී පොලිස් ස්ථානය වෙත කඩා වැදුණු ප්‍රහාරකයන් එහිදී මෝටර් රථය පුපුරවා හැර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත් මියගිය පිරිසෙන් වැඩි පිරිස ප්‍රහාරයට පැමිණි ත්රස්තයන්ම හඳුනාගෙන ඇති අතර, පොලිස් නිලධාරීන් තුවාල ලැබුවත්, සාමාන්‍ය ජනතාවට හානියක් සිදුව නොමැති බවද වාර්තා වෙයි.
මෙම ප්‍රාන්තය තුළ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චීන බලධාරීන් ඉස්ලාමීය අන්තවාදීන්ට චෝදනා එල්ල කරන අතර, ඔවුන් පසුගිය කාලය පුරාම කලාපයේ ප්‍රහාර කිහිපයක්ම එල්ල කරමින් ජීවිත හානි සිදුකරන බව චීන රජය පවසයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුටත් පරීක්ෂණ පැවැත්වෙන බවත්, මීට පෙර මෙවැනි ප්රහාරයන්ට සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙකු වෙත මරණ දඬුවම් පැමිණ වීමටද චීන රජය ක්‍රියාකර තිබුණි.