චීනයේ ජිප්සම් පතලක් කඩා වැටී, පතල්කරුවන් 17 දෙනෙකු ඉන් මුදාගැනීමට දින දෙකක් පුරා සහන කණ්ඩායම් උත්සාහ කරන අතරතුර එම පතල් සමාගමේ සභාපතිවරයා පතලකටම පැනීමෙන් සියදිවි හානිකර ගෙන තිබේ.
නැගෙනහිර චීනයේ, ෂැන්ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටි මෙම ජිප්සම් පතල් අනතුර පසුගිය සිකුරාදා සිදුවූ අතර, එම අනතුරින් එක් පතල්කරුවෙක් ජීවිතක්ෂයට පත්විය. එහිදී, සහන කණ්ඩායම් පතල්කරුවන් හතර දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට සමත් විය.
එතැන් සිට මේ දක්වා සහන කණ්ඩායම් විසින් සැලකිය යුතු පතල්කරුවන් පිරිසක් කඩා වැටුණු පතලෙන් පිටතට ගැනීමට සමත් වුවත්, තවත් 17 දෙනෙකු පතල තුළ සිරවී සිටින බව බලධාරීහු පවසති.
කර්මාන්ත ආශ්රිත අනතුරු සම්බන්ධයෙන් චීනයට ප්රමුඛ ඉතිහාසයක් පවතින අතර, දකුණුදිග චීනයේ ඉදිකිරීම් අපද්‍රව්‍ය කන්දක් නායයෑමෙන් සිදුවූ විපතට දිනකට පසු මෙම පතල් අනතුර වාර්තා විය.
මා කන්ග්බෝ නමැති අදාළ පතල් සමාගමේ සභාපතිවරයා අද (27දා) මෙසේ සියදිවි හානි කරගෙන තිබූ බව ෂිංහුවා පුවත් ඒජන්සිය වාර්තා කළේය.
ඔහු සියදිවි හානිකර ගැනීමට හේතුව පැහැදිලි නොවුණත්, නොසැලකිල්ල හේතුවෙන් සිදුවී ඇති මෙවැනි අනතුරු සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවට චීන රජය විසින් පවසා තිබුණි.