ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සහාය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ කැනේඩියානු පුරවැසියන් දෙදෙනෙකු ඉන්දියාවට භාරදීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මග සකසමින් සිටියි.
ඉන්දියාවේදී උපත ලබා ඇති මල්කිත් කවුර් සහ සුබාජිත් සිං බඩේෂා යන දෙදෙනා මෙම චෝදනාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමේ උත්සාහයක නිරතව සිටිති.
2000 වසරේදී ජාස්වින්දර් සින්දූ හා ඇයගේ ස්වාමියා ඝාතනය කිරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා චෝදනා ලබා සිටිති.
මෙසේ චෝදනා ලැබූවන් ඝාතනය වූ ජාස්වින්දර්ගේ මව සහ ඇගේ මාමාය. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාම මේ වනවිට වයෝවෘද්ධව, වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ජීවත් වන දෙදෙනෙකු වන අතර, මෙම මරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔවුහු අධිකරණය හමුවේ කරුණු ගෙනහැර දක්වති.
මෙම තරුණිය ඔවුන්ගේ පවුල් පසුබිමට නොගැළපෙන රික්ෂෝ රියදුරෙකු හා විවාහ වීම මෙම ඝාතනයට හේතුව බව මේ වනවිට ඉන්දීය අධිකරණයක් හමුවේ පවා ඔප්පු වී ඇති අතර, ඔවුන් දෙදෙනා ඉන්දියාවේදී ස්කූටරයකින් ගමන් කරමින් සිටියදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
එමෙන්ම, මෙම ඝාතනය සිදුකර තිබූ ඉන්දියානු ජාතිකයන්ට මරණ දඬුවම නියම වූ අතර, පසුව මෙහි පසුපස සිටින කැනේඩියානු ජාතික යුවළ ඉන්දියා අධිකරණය විසින් තම රටවෙත පිටුවහල් කරන ලෙස කැනඩාවෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, 2014 වසරේදී බ්‍රිටිෂ් කොලොම්බියා අධිකරණය ඔවුන් දෙදෙනා පිටුවහල් කිරීමට අවසර ලබාදුන්නද, රජයේ නීතීඥයන් ඔවුන් පිටුවහල් කිරීම වළක්වමින් එය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා මෙම නඩුව ගෙන ගියේය.