පාකිස්තාන සමාජජාල අඩවි තරුවක්ව සිට පසුගියදා ඝාතනයට සිය සහෝදරයා අතින් ඝාතනයට ලක්වූ කැන්ඩීල් බලේෂ්ගේ දෙමවුපියන් සිය දියණිය පිළිබඳ මතකය ආවර්ජනය කර තිබේ.
ඇගේ මව වූ අන්වාරි බිබී, මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ තම දියණිය ඇගේ සියලු දුක සතුට සෑම විටම තමා සමග බෙදාහදාගත් ආදරණීය දියණියක වූ බවයි.
එමෙන්ම, ඇයගේ පියා වන මුහම්මද් අසීම් පවසා තිබුණේ, දියණිය ඝාතනය කළ පුතා තවදුරටත් දෑසට නොදැකීම තමාගේ එකම බලාපොරොත්තුව බවයි.
කැන්ඩීල් පැවසිය යුතු දේ නොවලහා පවසන සෘජු චරිතයක් වීමත්, ඇය අන්තර්ජාලයට මුදාහරින ඡායාරූප හා වීඩියෝ දසුන් සම්බන්ධයෙන් පුතා අසතුටින් හා දැඩි කෝපයෙන් සිටි බවත් මෙම මව පවසා තිබුණි. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් පුතා උසිගන්වා ඇති බවද මෙම දෙමවුපියන්ගේ මතය වී ඇත.
කෙසේ වෙතත්, අවසානයේ තම දෙමවුපියන්ගෙ නිවසට පැමිණි කැන්ඩීල් ගෙල සිරකර මරා දැමීමට ඇයගේ සොහොයුරා කටයුතු කර තිබුණේ, පාකිස්තානය තුළ තවත් ගෞරවනීය මරණයක් බවට එය පත්කරමිනුය.
ඒ අනුව, මෙය පවුලේ ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිදුකළ ඝාතනයක් ලෙස හුවාදැක්වූ අතර, පාකිස්තානය තුළ සෑම වසරකම මෙසේ පවුලේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිත 500ක් පමණ මරු වසඟයට යයි. ඉන් බහුතරයක් කාන්තාවන් බවද කියැවෙයි.
කැන්ඩීල්ගේ ඝාතනයත් සමග එරට තුළ මෙම ගෞරවනීය මරණයට දැඩි දෝෂාරෝපණ එල්ල වීම නිසා, එරට රජයද මෙවැනි දෑ පිටු දැකීමේ සූදානමකින් පසුවන බව විදෙස් වාර්තා පවසයි.