කොලොම්බියාවේ බොගෝටා අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බොගෝටා නගරයේ උතුරින් වූ 'සෙන්ට්රෝ ඇන්ඩීනෝ' වෙළෙඳ සංකීර්ණය තුළ පුපුරා ගිය මෙම කුඩා බෝම්බය ත්රස්ත ප්රහාරයක් ලෙස කොලොම්බියානු බලධාරීහු සලකති.
එමෙන්ම, මෙම ප්රහාරයෙන් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
බොගෝටා නගරාධිපති එන්රීක් පෙනලෝසා පවසන්නේ මියගිය කාන්තාවන් අතර ප්රංශ ජාතිකයෙකුද සිටින බවයි.
මෙම කුඩා බෝම්බය වෙළෙඳ සංකීර්ණයේ කාන්තා වැසිකිළිය තුළ සඟවා තිබූ බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සෙනසුරාදා අතිශය කාර්ය බහුල අවස්ථාවක බෝම්බය පුපුරුවා හැර ඇති අතර, එම අවස්ථාවේදී වෙළෙඳ සංකීර්ණය තුළ විශාල පිරිසක් සිට ඇති බවද කියැවෙයි.
මියගිය පිරිස අතර සිටි 23 හැවිරිදි ස්වෙච්ඡා සේවිකාව ප්රංශ ජාතිකයා ලෙස හඳුනාගෙන ඇති අතර, 27 සහ 31 යන වයස්වල පසුවූ අනෙක් කාන්තාවන් දෙදෙනාගේ ජාතිකත්වය අනාවරණය වී නොමැත.
මෙම බියගුළු ත්රස්ත ප්රහාරය හෙළා දකින බව බොගෝටා නගරාධිපතිවරයා පවසා සිටියේය.
කෙසේ වෙතත්, ප්රහාරයේ වගකීම තවමත් කිසිවෙකු විසින් භාරගෙන නොමැත.