කෙන්යාව තුළ පසුගිය මාසයේ පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බව පවසමින් එම මැතිවරණය අවලංගු කළ කෙන්යානු ශ්‍රේෂ්ඨාධිකරණය දින 60ක් තුළ නව මැතිවරණයක් පවත්වන ලෙස නියෝග කර තිබේ.
එම මැතිවරණයෙන් වැඩි ඡන්ද මිලියන 1.4කින් බලයේ සිටි හුරු කෙන්යාටා ජයග්‍රහණය ලැබූ බව මැතිවරණ කොමිසම කියා සිටියත්, අධිකරණ නියෝගයත් සමග කෙන්යාටට යළිත් වරක් ජනපති පදවිය ලැබීමේ සිහිනය බොඳව යනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
පැවති මැතිවරණයෙන් පසුව එරට විරුද්ධ පක්ෂ නායක රයිලා ඔඩින්ගා පවසා සිටියේ මැතිවරණ කොමිෂම ඡන්ද වංචාවක් කළ බවයි. කොමිසම වහා ඉල්ලා අස්විය යුතු බවත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත ගමන් කිරීමත් ඔහුගේ නායකත්වයෙන් සිදුවිය.
නියෝගය පිළිබඳ අදහස් දක්වමින් ජනපති කෙන්යාටා පවසා සිටියේ තමන් අධිකරණයේ තීරණයට හිස නමන බවයි. නමුත්, ඒ සමගම විනිසුරුවන් වංචනිකයන් බවද ඔහු පවසා සිටියේය.
මේ අතර, අධිකරණ තීරණයෙන් උද්දාමයට පත් විපක්ෂ දේශපාන ක්‍රියාකාරීන් හා ආධාරකරුවන් නගරවල ප්‍රීතිඝෝෂා, සැණකෙළි පැවැත්වූ බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
අප්‍රිකානු කලාපය තුළ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙවැනි අධිකරණ ක්‍රියාමාර්ග මීට පෙර ගෙන තිබුණද, විරුද්ධ පක්ෂයක් විසින් ජනාධිපතිවරණ ප්‍රතිඵලයකට එරෙහිව ගෙනගිය අධිකරණ ක්‍රියාමාර්ගයක් ජයගත් ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන් වෙයි.