කැරිබියන් හා ෆ්ලොරිඩා වෙත දැඩි හානි සිදුකළ අ'ර්මා සුළි කුණාටුවෙන් පසුව කැරීබියන් කලාපයේ සෙන්ට් මාර්ටින් දූපතේ වෙසෙන 600ක පමණ පිරිසක් වෙළෙඳ සැල් මංකොල්ලකෑම නිසා සාමය ස්ථාපිත කිරීමට ප්‍රංශ ආරක්ෂක අංශ පැමිණ තිබේ.
විශේෂයෙන්ම සුළි කුණාටුවෙන් පසුව එම ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම නිසා ඔවුන් මේ ආකාරයෙන් මංකොල්ලකෑමට පෙළඹී ඇති බව සඳහන් වෙයි.
එමෙන්ම, සුළි කුණාටුවට කොටුවීම නිසා මෙම දූපත් කොදෙව්වේ සිරවී සිටි සංචාරකයන් යළි තම ගම්බිම් බලා යෑමට සූදානමින් සිටි ආකාරයද විදෙස් මාධ්‍යවල සටහන් විය.
විශේෂයෙන්ම, තම දිවියේ මුහුණදුන් අතිශය භීතියෙන් පිරි අත්දැකීමක් ලෙස බොහෝ දෙනෙකු සුළි කුණාටුවට මැදිවීම සලකා තිබුණි.
ඒ නිසාම ගුවන් තොටුපොළේ පෝලිම් ගැසී සිටි වැඩි දෙනෙකු හැඬූ කඳුලින් පසුවූ බව සඳහන් වෙයි.
එමෙන්ම, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, නෙදර්ලන්තය යන රටවලට අයත් මෙම දූපත් කොදෙව්ව සම්පූර්ණයෙන්ම පාහේ යළි ප්‍රතිස්ථාපනය කළ යුතු මට්ටමට පැමිණ ඇති අතර, බොහෝ සංචාරක නිවස්නයන් මෙන්ම, වෙළෙඳ ආයතන හා නිවාස විනාශ වී ගොසිනි.
එමෙන්ම, සුළි කුණාටුව ගමන්ගත් මාර්ගයේ වෘක්ෂ ලතාවන්ද බොහෝ සෙයින් විනාශ වී ඇති ආකාරය චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී වඩාත් පැහැදිලිව දැකගත හැකිය.
අත්ලාන්තික් කලාපයට බලපෑ අතිශය දරුණු සුළි කුණාටුවක් ලෙස ඉතිහාසගත වන අ'ර්මා නිසා ඇමෙරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයට පෙර නොවූවිරූ කැළඹීමකට ලක්වීමට සිදුවූ අතර, මියාමි නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවිය.
මේ වනවිට ඇමෙරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආපදාවට පත්වූ ප්‍රදේශ යළි ප්‍රතිස්ථාපනය ආරම්භ වී ඇති අතර, සුළි කුණාටුවේ බලපෑමෙන් ගංවතුර ඇති වූ තවත් ප්‍රදේශවල එම තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බවද කියැවෙයි.