කැරීබියන් දූපත් රැසක් සම්පූර්ණයෙන් විනාශ කළ ඉර්මා සුළි කුණාටුව කියුබාවට දැඩි සුළං සහ වර්ෂාව සමග ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
5 වැනි ප්‍රවර්ගයට අයත් අති ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඊසානදිග වෙරළ තීරයෙන් කියුබානු භූමිය වෙත සුළි කුණාටුව ඇතුළු වී තිබේ.
විශේෂයෙන්ම ඉර්මා සුළි කුණාටුව ගමන්කළ ගමන් මාර්ගය ක්‍රමයෙන් වෙනස් වීම නිසා බහමාස් වෙත සිදුවීමට ගිය දරුණු විනශයක් වැළකී ගිය බවද විදෙස් වාර්තා පවසයි.
කියුබාවට අනතුරුව ඉරිදා දිනයේදී ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත සුළි කුණාටුව ඇතුළු වීමට නියමිතව තිබේ.
ඒ අනුව, ඇමෙරිකානු ජනතාවගෙන් 25%ක් ජීවත් වන ෆ්ලොරීඩාවේ මිලියන 5.6ක පිරිසක් වෙත තම නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කර යන ලෙස බලධාරීන් විසින් නියෝග කර තිබේ.
මේ දක්වා ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් කැරීබියන් දූපත් කලාපයේ පුද්ගල ජීවිත 20ක් අහිමිව ඇත.
ගෙවීගිය පැය කිහිපය පුරා තවදුරටත් 5 වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් ලෙස සක්‍රීයව පවතින ඉර්මා නිසා කියුබාවේ වෙරළබට නගර හා ගම්මාන කිහිපයක් වෙත ප්‍රබල අවදානමක් ඇති කරනු ඇති බවද කියැවෙයි.
දශක කිහිපයක ඉතිහාසයේ කියුබාව වෙත මෙවැනි අති ප්‍රබල සුළි කුණාටුවක් ඇතුළු වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ග්‍රිනීච් වේලාවෙන් අද අලුයම 3.00 පමණ වනවිට එහි වේගය පැයට කිලෝමීටර් 260ක පමණ සීමාවේ පැවති බව ඇමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට කියුබාවේ ඊසානදිග කලාපයේ රැඳී සිටි සංචාරකයන් 50,000ක් පමණ වහාම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, කැමගුවේ පළාතේ පහත් බිම්වල වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස දන්වා තිබේ.
මේ අතර, ඇමෙරිකානු ෆෙඩරල් හදිස ආපදා ඒජන්සිය අනතුරු අඟවා තිබුණේ ඉර්මා සුළි කුණාටුව ෆ්ලොරීඩාවට මෙන්ම, ඒ ආසන්න ප්‍රාන්තවලට දරුණු තත්ත්වයක් ඇති කරනු ඇති බවයි.
එමෙන්ම, මෙම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩා ප්‍රාන්තයට දින කිහිපයක් විදුලිබලය ඇණහිටිනු ඇති බවද පැවසේ.
ෆ්ලොරීඩා ආණ්ඩුකාර රික් ස්කොට් සියලු ෆ්ලොරීඩා වැසියන්ගෙන් ඉල්ලා තිබුණේ තම වටිනා බඩුබාහිරාදිය සමග හැකි ඉක්මණින් නිවාසවලින් ඉවත්වන ලෙසයි.
විශේෂයෙන්ම කාලය වේගයෙන් ගෙවීයන බැවින් ජනතාවට ඉවත්වන ලෙස දන්වා ඇති ප්‍රදේශවලින් හැකි ඉක්මණින් ඉවත්විය යුතුව ඇති බවද හෙතෙම අවධාරණය කර තිබේ.
ඔහු පවසන්නේ ඇමෙරිකාවට එම වැසියන්ගේ නිවාස යළි සාදා දිය හැකි වුවත්, ඔවුන් මේ අවදානම නොතකා රැඳී සිටීමෙන් ඔවුන්ගේ ජීවිත යළි ලබාදීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.