කැනඩාවේ මැන්ක්ටන් නගරයේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කරමින්, තවත් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුකළ ආයුද සන්නද්ධ පුද්ගලයෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව කැනඩාවෙන් වාර්තා වෙයි.
ජස්ටින් බෝක් නමැති 24 හැවිරිදි මෙම තැනැත්තා, ගිනි අවි අතැති භයානක පුද්ගලයෙකු බව පවසන කැනඩා පොලීසිය එම පළාතේ ජනතාවට තම නිවෙස් තුළටම වී දොරගුළු අඟුලුලා සිටින ලෙසට අවවාද කර තිබේ.
බී.බී.සී.ය වෙත අදහස් දක්වන රාජකීය කැනේඩියානු පොලීසිය පෙන්වා දෙන්නේ හමුදා කැමෆලැජ් ඇඳුමින් සැරසුණු මෙම පුද්ගලයා විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පොලිස් නිලධාරීන් ඝාතනය වූ බවයි.
මෙම ඝාතන සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරන කැනේඩියානු අග්රාමාත්ය ස්ටෙෆන් හාපර් සිය ජීවිත පූජා කළ පොලිස් නිලධාරීන් වීරවරයන් බවත්, ඔවුන් සැමදා සිහිපත් කළ යුතු බවත් නිවේදනය කරයි.
සිද්ධිය ඇසින් දුටුවන් පෙන්වා දෙන්නේ ප්රථම වෙඩි තැබීම රාත්රී 8.00 ට පමණ සිදුවූ බවයි. ඉන් පැය දෙකකට පමණ පසු නැවත වෙඩි තැබීම් ඇසුණු බව ඔවුහු පවසති.