දකුණු ඉන්දියාවේ, බැංගලෝර් හි චිත්‍රපට රූගත කිරීමක් අතරතුර ස්ටන්ට් ක්‍රියාවක් වැරදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී ඇති බව විදෙස් වාර්තා පවසයි.
බැංගලෝරයේ, කන්නඩා චිත්‍රපට සඳහා දායක වන අනිල් වර්මා සහ රගාවු උදෙයි නමැති ස්ටන්ට්කරුවන් දෙදෙනා හෙලිකොප්ටරයක සිට ජලාශයකට පනින දර්ශනයක් රූගත කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
ඔවුන් ජීවිතාරක්ෂක කබාවලින් තොරව ජලාශයට පැන ඇති බවත්, පසුව ඔවුන් ජලාශයෙන් ගොඩට පීනා නොපැමිණි නිසා ජීවිතාරක්ෂක අංශ කැඳවීමක් සිදුකර ඇති බවත් බැංගලෝර් පොලීසිය පවසයි.
මෙම ස්ටන්ට්කරුවන් සමග කන්නඩා චිත්‍රපටවල ප්‍රකට රංගන ශිල්පියෙකු වන දුනියා විජේ ද හෙලිකොප්ටරයේ සිට ජලාශයට පැන තිබුණත්, ඔහු නිරුපද්‍රිතව පිහිනා ගොඩට පැමිණීමට සමත්ව තිබේ.
පොලීසිය විශ්වාස කරන ආකාරයට මෙම ස්ටන්ට්කරුවන් පිහිනීම සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති දෙදෙනෙකි.
ඒ නිසා, මෙය නොසැලකිල්ල හේතුවෙන් සිදුව ඇති අනතුරක් ලෙස සලකන පොලීසිය, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙන බව පවසා සිටියි.