ඔස්ට්‍රේලියානු ගුවන් යානයක් බිම හෙළීම සඳහා IS ඉස්ලාමීය ත්රස්තයන් දියත් කළ සැලසුමක් ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායල් හා ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ සමර්ථ වී තිබේ.
පසුගිය වසරේ ජූලි මාසයේදී වාර්තා වී ඇති මෙම සිදුවීම එම රටවල් දෙක විසින්ම මේ වනවිට තහවුරු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සිඩ්නි නුවර සිට අබු ඩාබි දක්වා පියාසර කිරීමට තිබූ එටිහාඩ් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් මෙලෙස බිම හෙළීම සඳහා සැලසුම් කළ ඔස්ට්‍රේලියාවේ පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පසුව අත්ඩංගුවට ගෙන තිබුණි.
ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසා සිටියේ මෙම සහෝදරයන් දෙදෙනා IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය හා සබඳතා පැවැත්වූවන් දෙදෙනෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මුලින්ම මස් ඇඹුරුම් යන්ත්‍රයක යට කොටස ගලවා ඒ තුළ බෝම්බයක් සවි කරගෙන ගුවන්ගත වීමට ඔවුන් සිය පළමු උත්සාහය ගෙන තිබුණත්, එය අසාර්ථක වී තිබුණි. පසුව තවත් පිපිරුම් ද්‍රව්‍යක් උඩු ගුවනට රැගෙන ගොස් යානය පුපුරුවා හැරීම ඔවුන්ගේ සැලසුම වී ඇත. කෙසේ වෙතත්, එම සැලසුම ඊශ්‍රායල් බුද්ධි අංශවලට උකුසු ඇසට නිරීක්ෂණය වී තිබුණි. ඔවුන් මේ පිළිබඳ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසුව මෙම සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබුණි.
පසුගියදා ජෙරුසලමේදී අදහස් දක්වමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේ ලොව පුරා කිසිවෙකුගේ ඇසට හසු නොවී සිදුකිරීමට යන මහා මනුෂ්‍ය සංහාරයන් සම්බන්ධයෙන් දිවාරෑ නොබලා නිරීක්ෂණයේ යෙදෙන තම රටේ බුද්ධි අංශ වෙත ගෞරවය හිමිවිය යුතු බවයි.