උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් අත්හදා බලා ඇති බව ඇමෙරිකානු ආරක්ෂක අංශ අනාවරණය කරයි.
උතුරු කොරියාවේ ගැන්ග්වොන්ග් පළාතේ සිට අහසට විදිනු ලැබූ මෙම මිසයිල කිලෝමීටර් 250ක් පමණ දුර ගමන් කිරීමෙන් පසුව සාගරය වෙත පතිත වූ බව දකුණු කොරියානු බලධාරීන් විසින්ද තහවුරු කර තිබේ.
පසුගිය මාසයේදී අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකිරීමෙන් අනතුරුව, ඇමෙරිකාවට අයත් පැසිෆික් දූපත් රාජ්‍යයක් වූ ගුවාම් ආසන්නයටද මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබුණි.
කෙසේ වෙතත්, මෙම කෙටි දුර මිසයිල ඇමෙරිකාවට තර්ජනයක් ඇති කිරීමට තරම් ප්‍රබල මට්ටමේ මිසයිල නොවන බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
ඇමෙරිකාව හා දකුණු කොරියාව අතර හමුදා අභ්‍යාස සිදුවන අවස්ථාවලදී උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් සාමාන්‍ය සිදුවීම් වුවත්, මෑතක සිට ඔවුන් නිරන්තරයෙන් මිසයිල අත්හදා බැලීම්වල නිරත වෙයි.
කෙසේ වෙතත්, මේ වනවිටත් ඇමෙරිකානු හා දකුණු කොරියානු ආරක්ෂක අංශ අතර හමුදා ඒකාබද්ධ යුද අභ්‍යාසයන්හි නිරත වෙයි.
උතුරු කොරියාවේ මෙම නවතම මිසයිල අත්හදා බැලීම එරට වේලාවෙන් සෙනසුරාදා උදෑසන සිදුව තිබේ.
උතුරු කොරියාවේ මිසයිල වැඩසටහනට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඔවුන්ට දැඩි සම්බාධක පැනවීමක්ද සිදුව තිබුණි.