උත්සව සමයේ ඇමෙරිකාව ඇතුළු යුරෝපීය රටවල ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන් වෙත දැනුම්දීමක් කර තිබේ.
ඒ අනුව, මෙවැනි ප්‍රහාර වැළැක්වීම සඳහාත්, ප්‍රහාරයකදී ක්ෂණිකව මුහුණදීම සඳහාත් විශේෂ කාර්යසාධන සැලැස්මක් සූදානම් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව එරට ජනතාවට පවසා ඇත්තේ, නිවාඩු කාලයේ පැවැත්වෙන විවිධ උත්සව, විවිධ වැඩසටහන් මෙන්ම, එළිමහන් සැණකෙළි හා වෙළෙඳ ප්රදර්ශනවලදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි. IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය, අල්-කයිඩා ත්‍රස්ත සංවිධානය හා ඔවුන් හා බැඳුණු ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් වෙතින් යුරෝපය වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් පිළිබඳ විශ්වාසකටයුතු බුද්ධි තොරතුරු ලැබී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එමෙන්ම, අන්තවාදීන්ට සුදුහුණු ගාන පිරිස් හා ඔවුන්ගේ ගුණ ගායනා කරන්නන් පිළිබඳවත්, ස්වයං අන්තවාදයක් වැළඳගත් පුද්ගලයන් පිළිබඳවත් අවදියෙන් සිටින ලෙසද එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමෙරිකානු ජනතාවට අවවාද කර තිබේ.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවයන් මූලිකව ඉරාකය හා සිරියාව කේන්ද්‍ර කරගෙන සිටියත්, ඔවුන්ගේ ජාලයන් ලිබියාවේ හා ඇෆ්ගනිස්තානයේද පවතී. විශේෂයෙන්ම පසුගිය කාලයේදී පැරීසිය හා බ්‍රසීලය ඇතුළු යුරෝපීය නගර කේන්ද්‍ර කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සඳහා ඔවුන්ගේ සෘජු සබඳතා අනාවරණය වී තිබේ.
ඒ අනුව, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරට ජනතාවට වැඩිදුරටත් සිහිපත් කරන්නේ පසුගිය වසරේදී බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය හා තුර්කිය යන යුරෝපීය රටවල අන්තවාදී ප්‍රහාර සිදුවූ බැවින්, යුරෝපය පුරා තවත් එවැනි ප්‍රහාර පිළිබඳ ඉහළ නැඹුරුතාවක් පවතින බවයි.