උතුරු කොරියාව විසින් හයිඩ්රජන් න්‍යෂ්ටික බෝම්බයක් පුපුරුවා අත්හදා බැලීම ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් ඇතුළු සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
මෙහිදී, උතුරු කොරියාව වෙත යම් තරමකින් හෝ මිතුරු බවක් පෙන්වන චීනයද මෙය දැඩිව හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇති අතර, උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීන්දුවලට ගරුකළ යුතු බවද දන්වා තිබේ.
එමෙන්ම, රික්ටර් පරිමාණ 6.3ක භූ කම්පනයක් තරම් ප්‍රබල කම්පනයක් ඇති කළ මෙම න්‍යෂ්ටික පිපිරීම ලෝක සාමයට මෙන්ම ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව රුසියාවද අවධාරණය කර තිබේ.
මීට පෙර ජපානයට ඉහළින් මිසයිල අත්හදා බැලීමක්ද සිදුකරමින් ජපානයේද හොඳහිත පළුදු කරගෙන සිටින උතුරු කොරියාව වෙත ජපානයෙන්ද දැඩි චෝදනා එල්ල වන්නේ මෙය කිසිසේත්ම සමාව දිය නොහැකි වරදක් බව පවසමිනි.
උතුරු කොරියාව සමග මෙම ගැටලුව සාමයෙන් විසඳා ගැනීමට වත්මන් දකුණු කොරියානු නායකයා උත්සාහ කළත්, නාහෙට නාහන උතුරු කොරියානු නායකයා හමුවේ ප්යොන්ග්යැන්ග් පාලනය හුදකලා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ වහා ක්‍රියාවට නැංවිය යුතු බව දකුණු කොරියානු නායකයාද අවධාරණය කර තිබේ.
මීට අමතරව, න්‍යෂ්ටික අවි පාලනය එක්සත් ජාතීන්ගේ ආයතනය මෙම පිපිරවීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බව සඳහන් කර තිබේ.
මේ සියලු චෝදනා හමුවේ උතුරු කොරියාව පවසා සිටින්නේ තම රාජ්‍යය සිය හය වැනි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම සාර්ථකව සිදුකළ බවයි. එමෙන්ම, නවීන තාක්ෂණයෙන් යුතු මෙම බෝම්බය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක තැන්පත් කළ හැකි ආකාරයේ බෝම්බයක් බවද ඔවුන් පවසන්නේ ලෝකය වෙතම තම යුද ශක්තිය අවධාරණය කරමිනි.