බැලස්ටික් මිසයිලයක රැඳවිය හැකි අති නවීන න්‍යෂ්ටික අවියක් නිර්මාණය කිරීමට තම විශේෂඥයන්ට හැකිවී ඇති බව උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියාවේ රාජ්‍ය ඡායාරූප කිහිපයක්ද සමග මෙම පුවත පළ කර ඇති අතර, එහි උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් විසින් උතුරු කොරියාව නිෂ්පාදනය කළ නවතම හයිඩ්රජන් බෝම්බය නිරීක්ෂණය කරමින් සිටියි.
කෙසේ වෙතත්, මෙම පුවත සම්බන්ධයෙන් වෙනත් ස්වාධීන තොරතුරු තහවුරු කිරීමක් නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
මේ අතර, ජාත්‍යන්තර යුද විශේෂඥයන් පෙන්වා දෙන්නේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ආයුද නිපදවීම අතින් ප්‍රගතියක් අත්කරගෙන තිබුණද, එවැනි බෝම්බයක් සාර්ථකව මිසයිලයකට සවිකිරීමේ හැකියාවක් ඔවුන්ට පවතීද යන්න අපැහැදිලි බවයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මෙන්ම ඔවුන්ගේ මිසයිල අත්හදා බැලීම්වලට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක මෙන්ම, ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය නොතකමින්, ඔවුන් තවදුරටත් වැඩපිළිවෙළ දිගින් දිගටම සිදුකිරීමද සුවිශේෂී තත්ත්වයකි.
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ සිය නායකයා න්‍යෂ්ටික අවි ආයුද පිළිබඳ ආයතනයේ සංචාරය කරමින්, එහි විද්‍යාඥයන් සමග ඔවුන්ගේ නවතම න්‍යෂ්ටික අවි වැඩසටහන පිළිබඳ උපදෙස් ලබාදුන් බවයි.