මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද, නැද්ද යන්න විමසා බැලූ Brexit ජනමතවිචාරණයෙන් 52% ක ඡන්ද ප්‍රතිශතයක් සමග ඉවත් විය යුතුය ලෙසට ලැබූ ප්‍රතිඵලයට එරෙහිව ලන්ඩනයේ හා ස්කොට්ලන්තයේ උද්ඝෝෂණ මාලාවක් ඇරඹී තිබේ.
ඒ අනුව, ලන්ඩනයට හා ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුවට ඉදිරිපිටට රැස්වූ ජනතාව යුරෝපා සංගමයට සහාය දක්වන පුවරු රැගෙන උද්ඝෝෂණයේ යෙදෙන ආකාරය දැකිය හැකි විය.
විශේෂයෙන්ම, මෙවර ජනමතවිචාරණයේදී ස්කොට්ලන්තය පමණක් ගත්විට එම ජනතාව යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට වැඩි බහුතරයකින් ඡන්දය ලබාදී තිබුණත්, සමස්තයක් ලෙස ඒකාබද්ධව මහා බ්‍රිතාන්‍යය ඉන් ඉවත්විය යුතු බවට ඡන්ද ප්‍රතිඵලය ලැබීම හරහා ස්කොට්ලන්ත ඡන්දදායකයන්ට දැඩි අසාධාරණයක් වී තිබුණි.
එමෙන්ම, උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන්ද බලපා ඇති අතර, උතුරු අයර්ලන්ත ජනතාව 56% ක ඡන්ද ප්‍රතිශතයක් සමග පවසා ඇත්තේ තවදුරටත් යුරෝපා සංගමය සමග රැඳී සිටිය යුතු බවය. නමුත්, සමස්තයක් ලෙස ඒකාබද්ධව මහා බ්‍රිතාන්‍ය 52% ක ඡන්ද ප්‍රතිශතයක් සමග ඉන් ඉවත්විය යුතුයැයි පවසන විට එය උතුරු අයර්ලන්ත ඡන්දදායකයන්ටද දැඩි අසාධාරණයක් වී තිබුණි.
ඒ අනුව, පසුගියදා පැවති මහා බ්‍රිතාන්‍ය ජනමතවිචාරණය මහා බ්‍රිතාන්‍යයේද ඉරණම කියාපාන ඓතිහාසික සිදුවීමක් බවට පත්ව ඇති අතර, අවසානයේ මහා බ්‍රිතාන්‍යය කැඩී වෙන්වී ගොස් එංගලන්තය පමණක් ඉතිරිවන දේශපාලන ව්යවුලක් මෙන්ම, 2008 වසරේ ඇති වූවා වැනි ලෝක ආර්ථික අර්බුදයක් කෙරෙහිද ලෝකය තල්ලු වෙමින් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.