ඊජිප්තු රජය විසින් ලබාදී ඇති ඉන්ධන සහනාධාරය කපා දැමීම හා අයවැය පරතරය අවම කිරීමේ පියවරක් ලෙස එරට තුළ ඉන්ධන හා විදුලි බිලේ වැඩිවීමක් සිදුකර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ඒ අනුව, ඇතැම් ඉන්ධන වර්ග සඳහා වූ බදු 78% කින් ඉහළ දමා ඇති අතර, විදුලි බිලද වසර පහකින් පසු දෙගුණයකින් පමණ වැඩි වී ඇති බව වාර්තා වෙයි.
ඊජිප්තු රජය පෙන්වා දෙන්නේ මේ වනවිට තමන් විදුලිය නිපදවීම සඳහා වැයකරන මුදලින් හරි අඩකට පමණ ජනතාවට විදුලිය සැපයූ බවය. මේ තත්ත්වය තුළ ඊජිප්තුවේ නිතර විදුලි කප්පාදු දැකගැනීමට ලැබුණි.
එහිදී බලධාරීන් පෙන්වා දී ඇත්තේ ඉන්ධන වෙනුවෙන් ඉහළ සහනාධාරයක් දීම තුළ එම ක්ෂේත්රයන්හි නඩත්තු හා වර්ධනය කිරීම් පිළිබඳ බොහෝ නොසලකාහැරීම් පැවති බවය.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් විශාල ලෙස ඉන්ධන හා විදුලිය ගාස්තු වැඩිවීම තුළ ආහාර සහ ප්රවාහන වියදම්ද ශීඝ්ර ඉහළ යෑමක් සිදුවෙමින් ජීවන වියදමේ සැලකිය යුතු වර්ධනයක් ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් රජය වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන බවද බලධාරීහු පෙන්වා දෙති.