ලෝකයේ ඇති මහා නගර අතරින් කාන්තාවන්ට වඩාත්ම අනතුරුදායක නගරය ලෙස ඊජිප්තුවේ කයිරෝ නගරය නම් කර තිබේ.
ලොව පුරා කාන්තාවන් ලක්ෂ 10ක් පමණ යොදාගනිමින් සිදුකළ සමීක්ෂණයකින් පසුව මහා නගර අතරින් කාන්තාවන්ට වඩාත්ම අනතුරුදායක නගරය බවට ඊජිප්තුවේ, කයිරෝ නගරය පත්ව ඇත.
කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන්ගෙන් බේරී සිටීම සඳහා තමන්ට කොතරම් ආරක්ෂාවක් සැලසී ඇතිද යන්න මහා නගර 19ක් තුළ වෙසෙන කාන්තාවන්ගෙන් මෙම සමීක්ෂකයන් විමසා ඇත. එමෙන්ම, මෙවැනි නිර්ණායකයක් වෙනුවෙන් සමීක්ෂණයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.
ඒ අනුව, කාන්තාවන්ට මිත්‍රශීලීම මහා නගරය ලෙස ලන්ඩන් නගරය නම් කර ඇති අතර, ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන අනුපිළිවෙළින් ටෝකියෝ සහ පැරිස් නගර විසින් හිමි කරගෙන තිබේ.
සියවස් ගණනාවක සිට කයිරෝ නගරය තුළ කාන්තාවන් වෙනස්කොට සැලකීමේ සම්ප්රදායක් පැවතීම මේ ආකාරයෙන්, කාන්තාවන්ට අනතුරුදායකම මහා නගරය ලෙස කයිරෝ නම් කිරීමට හේතුව බව කියැවෙයි.
මේ අතර, කාන්තාවන්ට අනතුරුදායකම මහා නගර ලැයිස්තුවේ පකිස්ථානයේ කරච්චි නුවර, කොංගෝවේ කින්ශාසා සහ ඉන්දියාවේ දිල්ලි නගරයද වෙයි.
ජාත්‍යන්තර මහා නගර ආශ්‍රිතව මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ තොම්සන් රොයිටර්ස් පදනම විසිනි.