උතුරු ඉරාකයේ සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් රඳවා ගෙන සිට පසුව මුදාහැර තිබූ ඉන්දියානු හෙදියන් 46 දෙනා විශේෂ ගුවන් යානයකින් නැවතත් සිය රට පැමිණි බව ඉන්දියානු මාධ්‍ය පවසයි.
මෙම හෙදියන් සියලු දෙනා පාහේ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අයත් පිරිසකි. ඔවුන් ඉරාකයේ ටික්රිට් නගරයේ රෝහලක සේවය කරමින් සිටියදීය පසුගිය මාසයේදී අන්තවාදී ඉස්ලාමීය සටන්කාමීන් විසින් පැහැරගන්නා ලදී.
ටික්රිට් නගගරගයේ සිටි සුන්නි සටන්කාමීන්ගේ පාලනයේ පවතින මොසුල් නගරය වෙත රැගෙන යාමෙන් පසු කුර්දිස් නගරයක් වන අර්බිල් හිදී ඉන්දියානු බලධාරීන් වෙත භාර දී තිබුණි. කෙසේ වෙතත් අත්අඩංගුවේ සිටියදී තමන්ට කිසිදු හිරිහැරයක් සිදු නොකළ බවත්, ආහාර පාන නොඅඩුව ලබාදුන් බවත් ඔවුන් පවසා ඇත.
මේ අතර, මෙම හෙදියන් රැගෙන යාමට පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඉරාකය තුළ සිරවී සිටි තවත් ඉන්දියානුවන් පිරිසක්ද සිය ගම්බිම් බලා පැමිණි බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.