ඉදිරි පැය කිහිපයේදී ඉර්මා සුළි කුණාටුව ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත ඇතුළු වන බවත්, මේ වනවිටත් වෙරළ තීරයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පමණක් මිලියන 6.3ක් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම්දී තිබූ අතර, යමෙකු දැන් ප්‍රාන්තයෙන් පිටවීමට උත්සාහ කරනවා නම් දැනටමත් ඔවුන් ප්‍රමාද බව ආණ්ඩුකාරවරයා පවසයි.
කැරීබියන් දූපත් වෙත බලපෑම් කරමින් 5 වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් ලෙස බලපෑ මෙම ප්‍රබල සුළි කුණාටුව මේ දක්වා පුද්ගල ජීවිත 24ක් බිලිගෙන තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට පැයට කිලෝමීටර් 193ක වේගවත් සුළං සමග ඉර්මා සුළි කුණාටුව 3 වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් දක්වා අඩුවෙමින් කියුබාවෙන් ඉවත්ව ගියේය.
ඇමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ එසේ වුවද ඉර්මා යනු තවදුරටත් ප්‍රබල සුළි කුණාටුවක් නිසා එය ෆ්ලොරීඩා ප්‍රාන්තයට බොහෝ විපත් ගෙනදිය හැකි බවයි.
ෆ්ලොරීඩාවට දකුණු දිගින් පිහිටි දූපත් කොදෙව්වට මෙන්ම, බටහිර වෙරළ තීරයට මෙය අතිශය දරුණු සුළි කුණාටුවක අත්දැකීම් ගෙනදෙනු ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.
ඉරිදා උදෑසන කාලයේදී ෆ්ලොරීඩාවට ඇතුළුවන බවට අනාවැකි පළකළ සුළි කුණාටුවේ බලපෑම් නිසා මේ වනවිටත් මියාමි සහ ප්‍රාන්තයේ දකුණුදිග කොටසට අධික වැසි පතිත වෙමින් ඇති බවද වාර්තා වෙයි.
යම් අයෙකු සුළි කුණාටුවෙන් මිදී ගමන් නොකළේ නම් තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගැනීමට ඔවුන් කටයුතු කළ යුතු බව බලධාරීන් පවසයි.
එමෙන්ම, මේ වනවිටත් බොහෝ ප්‍රදේශවල විදුලිබලය ඇණහිට ඇති අතර, සුළි කුණාටුවේ ගමන් මාර්ග ලෙස ගැනෙන බටහිර බොක්ක ආශ්රිත වෙරළ තීරය මෙන්ම, ටම්පා සහ සෙන්ට් පීටර්ස්බර්ග් නගර වෙත සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් සිදුවනු ඇති බවද විශ්වාස කෙරෙයි.