ඉර්මා සුළි කුණාටුව 5 වැනි ප්‍රවර්ගයේ අති ප්‍රබල සුළි කුණාටුවක් බවට පරිවර්තනය වෙමින් කැරීබියන් දූපත් සහ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා දෙසට ආසන්න වෙමින් පවතී.
මෙය දශකයක කාලය තුළ අති ප්‍රබල අත්ලාන්තික් සුළි කුණාටුවක් ලෙස මේ වනවිටත් වර්ග කර ඇති අතර, මෙමගින් ඇති විය හැකි බලපෑම සුළුපටු නොවිය හැකි බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
ආරම්භයේදී ලීවෝඩ් දූපත් වෙත ඇතුළු වන සුළි කුණාටුව පසුව පොර්ටෝ රිකෝ සහ ඩොමිනික් දූපත් වෙත ගමන් කරනු ඇති බව කාලගුණ අංශ පවසයි.
මේ අතර, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කී වෙස්ට් ප්‍රදේශයේ ජනතාව කඩිනමින් ඉවත්කිරීම සඳහා පියවර ගෙන ඇති අතර, ප්‍රදේශයේ සිටින ආගන්තුකයන්ට අද උදෑසන වනවිටත්, නිවැසියන්ට අද සවස් වනවිටත් ඉවත්වීමට නියෝග කර ඇත. එමෙන්ම, සියලු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ අතර, ජනතාව වෙළෙඳ සැල් වෙත ගොස් බඩුබාහිරාදිය එකතු කිරීමට උත්සුක වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණි.
විශේෂයෙන්ම දින කිහිපයකට අවශ්‍ය වියළි ආහාර, වතුර මෙන්ම හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගතහැකි ඖෂධ ආදියද ඒ අතර විය. මේ තත්ත්වය තුළ බොහෝ වෙළෙඳ සැල්වල භාණ්ඩ හිඟයක් පැවති බවද සඳහන් වෙයි.
කැරීබියන් කලාපයේද ගුවන් තොටුපොළ වසා දමමින් ජනතාවට පොදු රැඳවුම් මධ්‍යස්ථාන වෙතට යන ලෙස නියෝග කර ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ෆ්ලොරීඩා ප්‍රාන්තයට, පෝර්ටෝ රීකෝ සහ ඇමෙරිකානු වර්ජින් දූපත් වෙත හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ෆෙඩරල් සහන සේවා කඩිනමින් එම ප්‍රදේශ වෙත යැවීමට කටයුතු කර තිබේ.
මේ අතර, සුළි කුණාටුවට මුහුණදීම සඳහා සූදානම් වන අතරතුරදී පොර්ටෝ රිකෝ හි 75 වියැති අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මාරාන්තික සුළං මෙන්ම, අධික වැසි තත්ත්වයක් මෙවැනි 5 වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවකින් බලාපොරොත්තු විය හැකි අතර, සාමාන්‍යයෙන් ප්රබලතම සුළි කුණාටුවක් ගණයට ගැනෙන මෙහි පැයට කිලෝමීටර් 295 දක්වා වූ වේගවත් සුළං බලාපොරොත්තු විය හැකිය.
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය 4 වැනි ප්‍රවර්ගයේ ප්‍රබල සුළි කුණාටුවකට හා දැඩි ගංවතුර තර්ජනයකට මුහුණදී සති දෙකක් ගෙවීයාමට පෙර මෙම මහා ව්‍යසනයද ඇති වෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.