ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී තිබූ උතුරු ඉන්දියාව තුළ ප්‍රකට හින්දු පූජකයෙකු වූ ගුර්මීත් රාම් රහිමී සිං අධිකරණය ඉදිරියේ වරදකරු බවට පත්වීමත් සමග ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ඓතිහාසික නඩු තීන්දුවත් සමග ප්‍රකෝපවූ ඔහුගේ අනුගාමිකයන් පන්ච්කුලා නගරය පුරා දේපොළවලට අලාභානි කරමින්, මහාමාර්ගවල ටයර් පුළුස්සමින් ප්රකෝපකාරී ලෙස කටයුතු කර ඇති අතර, සිද්ධිය පාලනය කිරීම සඳහා යෙදවූ හමුදා වෙඩි තැබීමකින් මෙම මනුෂ්‍ය ඝාතන සිදුව තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇති පස් දෙනාම හින්දු පූජකවරයාගේ අනුගාමිකයන් වන අතර, එම කලහකාරී පිරිස් දුම්රිය ස්ථාන දෙකක්ද ගිනිබත් කර තිබුණි. එමෙන්ම, මහමග මෝටර් රථවලට පහරදීමක් මෙන්ම, ගිනි තැබීමක්ද වාර්තා වී තිබුණි.
මෙම ගුරු රහීම් සිංගේ අනුගාමිකයන් ලක්ෂ දහයක් පමණ සිටින බව විශ්වාස කරන අතර, 2002 වසරේදී සිය ආගමික මධ්‍යස්ථාන මූලස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනා ඔහුට එල්ල විය.
මෙම අධිකරණ නියෝගය ප්‍රකාශයට පත්වන අවස්ථාවේ ලක්ෂ දෙකකට ආසන්න ජනතාවක් චන්දිගාර් නගරයට රැස්ව සිටි බවත්, කලහකාරී තත්ත්වය අතරතුර තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර, අධිකරණයේ වරදකරු වූ ගරු රහීම් සිං හමුදා ආරක්ෂාව යටතේ රඳවා ඇති අතර, අධිකරණය එළැඹෙන සඳුදා දිනයේදී ඔහුට එරෙහි දඬුවම් අධිකරණය විසින් නියම කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
හින්දු ආගම මෙන්ම සික් ආගමද අපහාසයට ලක් කරන්නෙකු බවට චෝදනා ලැබූ මොහු දිලිසෙන ඇඳුම් ආයිත්තම්වලින් නිතරම සැරසී සිටින නිසා රොක් තරුකා බාබා යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලබයි.
රොක් සංගීත ප්‍රසංගවල මෙන්ම, හින්දි චිත්‍රපටවලද දැකිය හැකි මෙම පූජක තැන තමාව මාකට් කරගැනීමට දක්ෂයෙකු ලෙස සැලකෙයි. මෙවැනි බොරුකරුවන් යටතේ අනුගාමිකයන් වීම තුළ මිනිසුන් මෘගයන් බවට පත්ව, සමස්ත සාමයම කෙළෙසී ඇති බවට බහුතරයේ මතයයි.