ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පැවති හින්දු ආගමික උත්සවයකදී සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ නගරයක් ලෙස සැලකෙන වර්නාසි හිදී මෙම අනතුර සිදුව ඇති අතර, 3,000ක පමණ භක්තිකයන් පිරිසක් බලාපොරොත්තු වූ මෙම ආගමික වැඩසටහන සඳහා 70,000ක පමණ පිරිසක් පැමිණ සිටි බව ඉන්දීය පොලීසිය කියයි.
මිය ගිය 19 දෙනාගෙන් 14 දෙනෙකුම කාන්තාවන් බවද පොලීසිය කියයි. එමෙන්ම, රෝහල්ගත කළ අයගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නන්ද සිටින බැවින් ජීවිත හානි ඉදිරියේ වැඩිවිය හැකි බවද පොලීසිය පවසයි.
එම ස්ථානයේ පැවති ජනයාගෙන් පිරීගිය පාලම මතින් වැඩිපුර පිරිස් ආපසු හරවා යැවීමට පොලීසිය උත්සාහ ගැනීමේදී පාලම කඩා වැටෙන බවට පැතිර ගිය කටකතාවක් නිසා හිස්ලූ ලූ අත ජනතාව දිවයෑමට උත්සාහ ගැනීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක ප්‍රදානයක් ලබාදීමට අගමැති නරේන්ද්‍ර මෝදි උපදෙස් ලබාදී ඇති බවත්, සෙසු පිරිස් වෙත අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙසත් හෙතෙම පවසා තිබේ.