ඉන්දියානු නාවික සෙබලියන්ගෙන් සමන්විත හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ලොව වටා යාත්‍රා කිරීමේ සංචාරයක් සැප්තැම්බර් මුල ආරම්භ කිරීමට සූදානම් වෙයි.
ලොව වටා කෙරෙන මෙම සුවිශේෂී සංචාරයෙන් පසුව ලබන වසරේ මාර්තු මාසයේදී යළි පැමිණීමට සැලසුම් කර ඇති අතර, මෙවැනි සංචාරයක් ඉන්දීය කාන්තාවන් පිරිසක් පමණක් සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තා පවසයි.
INSV Tarini නැමති යාත්‍රාවේ නැගී සිදුකරන මෙම සංචාරය නම්කර ඇත්තේ නාවික සාගර් පරික්‍රම යනුවෙනි.
සැප්තැම්බර් පළමු සතියේදී ගොවෙන් ඔවුන්ගේ සංචාරය ඇරඹෙන අතර, ඔවුන් යළි ගෝව වෙත ළඟා වීම 2018 මාර්තු මාසයේදී සිදුවනු ඇත.
ඔවුන්ගේ මෙම සංචාරය අදියර පහක් යටතේ සිදුවන අතර, ඔවුන් වරාය හතරක නැංගුරම්ලෑමට සූදානම්ය. ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ ෆ්රීමැන්ටෙල්, නවසීලන්තයේ ලෙයිටල්ටොන්, ෆෝල්ක්ලෑන්ඩ්ස් හි ස්ටැන්ලි වරාය සහ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ඔවුන් සංචාරය අතරතුර නවාතැන් ගන්නා වරායන්ය.
එහිදී, නවසීලන්තය හා ෆෝල්ක්ලැන්ඩ්ස් අතර පැසිෆික් සාගරය හරහා සිදුකරන යාත්රාණය ඔවුන්ගේ ලෝක සවාරියේ වඩාත් දීර්ඝතම ගමන වනු ඇත.
මෙම කලාපය තුළ අතිශය රළු මුහුදු සීමාවන් ඔවුන්ට පසුකිරීමට සිදුවීමද විශේෂත්වයක් බව මෙම කණ්ඩායමේ නායකත්වය ගෙන සිටින ලුතිනන් කමාන්ඩර් වර්තිකා ජෝෂි පවසයි.
මෙම කණ්ඩායමට ලුතිනන් කමාන්ඩර් ප්‍රතිභා ජාම්වාල් සහ පී. ස්වාති යන අයත්, ලුතිනන් එස්. විජය දේවි, බී. අයිශ්වර්යා සහ පයාල් ගුප්තා යන සෙසු සාමාජිකයෝ අයත් වෙති.
ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සාමාජිකාවන් 20කගෙන් මෙම හය දෙනා තෝරාගෙන තිබුණි.