(UPDATE) ඇෆ්ගනිස්ථානයට නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා වූ ඓතිහාසික ඡන්ද විමසීම මේ වනවිට අවසන් වී තිබේ. එය ඓතිහාසික ඡන්ද විමසීමක් බවට පත්ව ඇත්තේ, එදාමෙදා තුර ඡන්ද පෙට්ටියකට ඡන්දය දමා රටේ බලය හුවමාරුවන ප්‍රථම අවස්ථාව මෙය වීමෙනි.
කෙසේ වෙතත් මැතිවරණයට පෙර සිටම ඊට බාධා පමුණුවන බවට තලේබාන් සංවිධානයෙන් ලැබුණු අනතුරු ඇඟවීම් සහ ඇතැම් ප්‍රහාර හේතුවෙන් මේ වනවිට මැතිවරණය සඳහා දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව එරටින් වාර්තා වෙයි. පොලීසියේ හා හමුදාවේ ලක්ෂ 4කට ආසන්න භට පිරිස් මැතිවරණයට ආරක්ෂාව සපයමින් සිටිති.
වත්මන් ජනාධිපති හමීඩ් කර්සායි වෙනුවට පත්වන නව ජනාධිපතිවරයා වීම සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් මැතිවරණ තරග බිමේ සිටින අතර, ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 12ක ඡන්ද දායකයන් පිරිසක් සූදානමින් සිටිති.
කෙසේ වෙතත් මැතිවරණයට පෙර දිනයේදී විදෙස් මාධ්‍යවේදිනියන් දෙදෙනෙකු ඉලක්ක කළ වෙඩි ප්‍රහාරයද මැතිවරණය පිළිබඳව ආරම්භයේදීම තිගැස්මක් ඇති කළ බව විදෙස් පුවත් සේවා පැවසීය.
සම්මානලාභී ජර්මානු ඡායාරූප මාධ්‍යවේදිනියක වන අන්ජා නෙයිඩ්රින්ග්හෝස් සහ කැනේඩියානු ජාතික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන කැතී ගැනොන් මෙසේ ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදිනියන්ය. ඔවුන් දෙදෙනාම කාලයක් පුරා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයේ කටයුතු කරමින් සිටි අතර, ප්‍රහාරයෙන් අන්ජා ජීවිතක්ෂයට පත්ව, කැතී තුවාල ලැබීය.