ඇෆ්ගනිස්තානය තුළ අබිං නිෂ්පාදනය (Opium) පසුගිය වසර තුළ 43% කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙන්නේ, ඇෆ්ගනිස්තානය තුළ අබිං නිෂ්පාදනය කෙරෙන පොපි වගාව සඳහා යොදාගන්නා බිම් ප්‍රමාණය 10%කින් හෙවත් හෙක්ටයාර 201,000කින් වැඩිකර ඇති බවයි.
එමෙන්ම, වගාවට හිතකර පරිසරයක් හා පහසුකම් සැලසීම නිසා සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ලබාගන්නා වගාව ඉහළ යෑමෙන් සමස්ත නිෂ්පාදනයම ඉහළගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
ඇෆ්ගනිස්තානය යනු මේ වනවිට ලොව විශාලතම අබිං නිෂ්පාදකයා බවට පත්ව සිටින අතර, මෙම අබිං වල ඇති රසායනිකයක් හෙරොයින් නිෂ්පාදනයට යොදාගනී.
ලෝකයේ බොහෝ රටවල පොපි වගාව අපරාධයක් ලෙස සැලකුණත්, ඇෆ්ගනිස්තානය තුළ එය ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇති බවද එම කාර්යාලය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම තලේබාන් සටන්කාමීන්ගේ පාලනයේ පවතින පොපි වගාවන්ගෙන් ඔවුන් බදු අය කිරීමක්ද සිදුකරන අතර, එම සංවිධානයේ හමුදා ක්‍රියාකාරකම්වලට අවශ්‍ය මුදල් සපයා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රය බවටද මෙය පත්ව ඇත.
මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යායේ ප්‍රධානී යූරි ෆෙඩොටොව් පවසන්නේ මෙම දත්ත කණස්සල්ලක් ඇති කරවන බවයි.
ඇතැම් වේදනා නාශක ඖෂධ වැනි නිෂ්පාදන සඳහාද අබිං යොදාගන්නා අතර, ඒ වෙනුවෙන් පමණක් වූ පොපි වගාවන් සිදුකරන රටවල් තිබුණත්, ඇෆ්ගනිස්තානයේ පොපි වගාව හා අබිං නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම පාහේ නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග බැඳී පවතින බවද එම ආයතනය අවධාරණය කරයි.
'කුඩු' හෙවත් හෙරොයින් (Heroin) වල අඩංගු වන්නේ diamorphine නම් රසායනික ද්‍රව්‍යයකි. diamorphine නිපදවන්නේ morphine රසායනිකව වෙනස් කිරීමෙනි. Morphine යනු Opium හෙවත් අබිං වලින් ලබාගන්නා රසායනික ද්‍රව්‍යයකි. අබිං නිපදවන්නේ පොපි ශාකයේ ගෙඩි පළුදු කිරීමෙන් ලබාගන්නා කිරිවලිනි.