නවසීලන්තය තුළ ඇවකාඩෝ ඉල්ලුම වැඩිවීමත්, ඒ හරහා ඒවායෙහි මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග එරට තුළ ඇවකාඩෝ සොරකමද ඒ තරමටම ඉහළ ගොස් ඇති බව කියයි.
විදෙස් වාර්තා පවසන්නේ, මේ වනවිටත් ඇතැම් පලතුරු වතුවල ඇවකාඩෝ ගෙඩි සොරුන් විසින් කඩාගෙන ගොස් ඇති බවත්, ඔවුන් රාත්‍රී කාලයේදී කෙකි යොදාගෙන ඇවකාඩෝ සොරකමේ පැමිණෙන බවත්ය.
කෙසේ වෙතත්, වසරේ මේ කාලයේදී එරට ඇවකාඩෝ ඵලදාව තවමත් පරිභෝජන මට්ටමේ නොපවතින බව පවසන වතු හිමියන් කියන්නේ, මෙසේ නොපැසුණු, ගැට අවධියේ පසුවන ඇවකඩෝ කඩාගන්නා සොරුන්, ඒවා වෙළෙඳ පොළට යැවීමෙන් පාරිභෝගිකයා මේ රසවත් පලතුර සම්බන්ධයෙන් අතෘප්තිමත් වීමේ අවදානමක්ද පවතින බවය.
නවසීලන්තය තුළ සාමාන්‍යයෙන් ඇවකාඩෝ ගෙඩියක් ඇ.ඩො.2.8 ත් 4.2 ත් අතර (රු.400/- ත්, රු.600/- ත්) මිලකට අලෙවි වෙයි.
කෙසේ වෙතත්, මෙම ඇවකාඩෝ සොරකම මහා පරිමාණයෙන් නොව, ඉතා සුළු පරිමාණයෙන් සිදුවන බවත්, ඒ බොහෝ දෙනෙකු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා පිරිස් බවත් එරට ඇවකාඩෝ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරිනී ජෙන් ස්කොව්ලර් පවසයි.
"නවසීලන්තය වෙත ඇවකාඩෝ ආනයනය කරන්නේ නෑ. නමුත්, පසුගිය ඇවකාඩෝ වාරයේදී ඵලදාවේ යම් පසුබැසීමක් තිබුණා. මේ තත්ත්වයත් සමග ඇවකාඩෝ සඳහා වූ ඉල්ලුම වැඩිවීමෙන්, එහි මිලද ඉහළ ගියා" ඇය කියයි.
"කෙසේ වෙතත්, ජනතාව ඇවකාඩෝ බලාපොරොත්තු වෙනවා. ඉල්ලුම වැඩි වුණත්, මිල වැඩිවුණත් ඔවුන් ඇවකාඩෝ ඉල්ලනවා. මේ නිසා අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා මේ ඇවකාඩෝ සොරුන්, වැඩි මිලකට ඒවා විකුණා ගැනීමට හැකි බව සිතමින්, ගැට අවධියේ පවතින ගෙඩි පවා ඉවක් බවක් නොමැතිව කඩාගෙන ගොස් තිබෙනවා" ඇය වැඩිදුරටත් පවසයි.