ඇමෙරිකාවේ ටෙන්නෙසී ප්රාන්තයේ නෑෂ්විල්ලේ හි අවන්හලක් වෙත කඩා වැදුණු නිරුවත් තුවක්කුකරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිරුවතින් පැමිණි මෙම පුද්ගලයා රයිෆලයක් යොදා ගනිමින් සිදුකළ විවෘත වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී අවන්හලේ සිටි පිරිස් මෙම පුද්ගලයා සමග පොරබදිමින් ඔහුගේ අතේ වූ ගිනි අවිය උදුරාගෙන ඇති අතර, ඔහු පසුව අවන්හලෙන් ඉවතට පැන දිවගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ප්රහාරය එල්ල කළ පුද්ගලයා එලිනොයිස් ප්රාන්තයේ පදිංචි 29 හැවිරිදි ට්රැවිස් රෙයින්කින්ග් ලෙස හඳුනාගෙන තිබුණත්, ප්රහාරකයා තවමත් නිදැල්ලේ පසුවන බව පොලීසිය පවසයි.
තම පිකප් රථයෙන් අවන්හල වෙත පැමිණ තිබුණු ප්රහාරකයා අවන්හලට ඇතුළු වීමට පෙර එහි පිටත සිටි පිරිස් වෙතද වෙඩි තබා තිබේ.
කොළ වර්ණයෙන් යුතු උඩු කබායක් හැර ප්රහාරය එල්ල වන අවස්ථාවේදී ඔහු නිරුවතින් සිට ඇති බවද පොලීසිය පවසයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ලාස් වේගාස් හි පුද්ගලයන් 58 දෙනෙකුට ජීවිතය අහිමි කළ වෙඩි තැබීමට යොදාගත් ඒ.ආර්.15 වර්ගයේ රයිෆලයක් ප්රහාරකයා භාවිත කර තිබුණි.