"අපට සුන්දර පිළිගැනීමක් ලබාදීම ගැන චීනයට ස්තූතියි. මෙලානියාටත්, මටත් එය කිසිදා අමතක නොවේවි..."
චීනයේ සංචාරයක නිරත ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමෙහි පණිවුඩයක් සටහන් කර තිබුණේ මෙසේය.
උතුරු කොරියානු අර්බුදය මෙන්ම, දෙරටේ ද්වීපාර්ශ්වික වෙළෙඳාම සම්බන්ධයෙන් මීට පෙර චීනයට චෝදනා එල්ල කළ ඇමෙරිකානු නායකයා, චීනයේ සිට චීන ජනපති ෂී ජින්පිං ගැන මහත් ඉහළින් ප්‍රශංසා කිරීමට කටයුතු කළේ චීනයේදී ඇමෙරිකාව කොරවූ බව නොකියා පෙන්වමිනි. කෙසේ වෙතත්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික හරණය සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසද ඔහු චීනයෙන් ඉල්ලා සිටියා මිස, කිසිදු අවස්ථාවක චීනයට බල කිරීමට නොගියේය.
එමෙන්ම, චීන වෙළෙඳ ලාභය ගැන කතා කිරීමේදී ද්විපාර්ශ්වික වෙළෙඳාමෙන් චීනය වැඩි ලාභයක් ලැබූ බවට මුලදී චෝදනා කළ ඇමෙරිකානු නායකයා, චීන භූමියේදී පවසා සිටියේ වැඩි අවස්ථාවක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන් චීනයට චෝදනා නොකරන බවකි.
"කොරියානු අර්බුදය විසඳන්න අපට කිසිම උදව්වක් නෑ. නිකං කතා කරනවා විතරයි..." කලකට පෙර උතුරු කොරියාව සම්බන්ධයෙන් චීනයට එරෙහිව ට්විටර් පණිවුඩ නිකුත් කළ ට්‍රම්ප් චීනයේදී කියා සිටියේ මෙම අර්බුදයට විසඳුම් සෙවීම ඉතා පහසුවෙන් සිදුකිරීමට චීනයට ශක්තිය පවතින බවකි. එනම්, ඇමෙරිකානු නායකයාගේ ආසියානු සංචාරයේ මුඛ්‍ය පරමාර්ථයක් වූ උතුරු කොරියාවට එරෙහිව සියලු රාජ්‍යයන් බලමුළු ගැන්වීමේ කතාබහේදී කිසිසේත්ම චීනයට වැඩි බලපෑමක් නොකිරීමට ඇමෙරිකානු නායකයා වගබලා ගත් බව ඒ සෑම මොහොතකදීම විද්‍යමාන විය.
මේ අතර, ඇමෙරිකාව සහ චීනය අතර විශේෂ වෙළෙඳ ගිවිසුම් කිහිපයකටද මෙම සංචාරයේදී අත්සන් කෙරුණු අතර, මේ සෑම හමුවකදීම පාහේ ඇමෙරිකානු නායකයා, ජනපති ආර්යාව මෙන්ම, ඇමෙරිකානු දූත පිරිස විස්මයට මෙන්ම මහත් සතුටට පත්කරන ආකාරයෙන් ඒවා සංවිධානය කිරීමටද චීනය කටයුතු කර තිබුණේ, චීනුන් මේ වනවිට ලෝකයේ ඕනෑම අයෙකුගේ කණෙන් රිංගීමට දක්ෂයන් බව ප්‍රකට කරමිනි.
විශේෂයෙන්ම, ඇමෙරිකානු නායකයා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක් මෙන්ම, ජනපති යුවළ මෙන්ම, ආර්යාව නිරන්තරයෙන් සතුටට පත්කරන විශේෂ සංස්කෘතිකාංග සහ හමු කිහිපයක්ද සංවිධානය කිරීමට චීනය කටයුතු කර තිබූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදී, චීන ජනපති ආර්යාවද ඒ සෑම අවස්ථාවකම සක්‍රීය දායකත්වයක් දැක්වූවාය. වසර 25ක ඉතිහාසයේ ආසියානු සංචාරයක නිරත ඇමෙරිකානු රාජ්‍ය නායකයා හෙවත්, මීට කලකට පෙර ලෝකයක් සෙලවූ ලෝක බලවතා, වත්මන් ලෝකයේ නැගීඑන ලෝක බලවතා හෙවත්, හිනාවෙවී ටොකු අනින චීන නායකයාගේ නිවසේදී කොර වූයේ මෙසේය.