ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දින 12ක ආසියානු සංචාරය අරඹමින් අද (05දා) ජපානය වෙත පැමිණියේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස බලයට පත්වීමෙන් පසුව දීර්ඝ සංචාරයක් සඳහා ආසියාවට පැමිණෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ඉතිහාසයේ වසර 25ක් තුළ මෙවැනි දීර්ඝ ආසියානු සංචාරයකට සහභාගී වන ප්‍රථම ඇමෙරිකානු ජනපති බවටද මෙම සංචාරයත් සමග පත්වෙයි.
මෙම සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ජපානය හැරුණු විට, දකුණු කොරියාව, චීනය, විට්නාමය සහ පිලිපීනය යන රටවලද සංචාරය කිරීමට නියමිතය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල හා මිසයිල අත්හදා බැලීම් හමුවේ කොරියානු අර්ධද්වීපය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ වටපිටාවක ඇමෙරිකානු නායකයාගේ මෙම සංචාරය යෙදි තිබීමද විශේෂත්වයකි.
උතුරු කොරියාවට එරෙහිව දකුණු කොරියාව සහ ජපානය සමග එක්ව සිට ගැනීම පෙන්වීමද ඇමෙරිකානු නායකයාගේ මෙම සංචාරයේ අරමුණක් වන අතර, චීනයටද එම කණ්ඩායමට එක්වීමට බල කිරීම තවත් අරමුණක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති.
මේ අතර, එයාර්ෆෝස් වන් යානයේ සිට මාධ්‍ය ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මෙම ආසියානු සංචාරය අතරතුර රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් මුණ ගැසීමටද තමන් බලාපොරොත්තු වන බවයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ද මෙම සංචාරයට එක්වන අතර, ඔවුහු මුලින්ම ටෝකියෝ නුවරට බටහිරින් වූ යොකෝටා ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුර වෙත පැමිණියහ.