අමාත්‍යවරුන් සිය කාර්ය මණ්ඩලයේ යුවතියන් සමග ලිංගික සබඳතා පැවැත්වීම ඔස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිය කාර්ය මණ්ඩල සාමාජිකාවක සමග ලිංගික සබඳතාවක් පැවැත්වීම හෙළිවීමත් සමග ඔස්ට්‍රේලියානු අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මාධ්‍ය හමුවකදී අගමැතිවරයා පවසා සිටියේ මෙම සිදුවීමට මුහුණ පෑ බාර්නබි ජොයිස් නියෝජ්‍ය අමාත්‍යවරයා අති විශාල වරදක් කර ඇති බවයි. ඔහු අමාත්‍යවරයෙකුගේ තත්ත්වයට නොහොඹිනා හැසිරීමක් පෙන්වා ඇති බව අගමැතිවරයා පෙන්වා දෙයි.
මෙම සබඳතාව හෙළිවීමත් සමග අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා සතියක කාලයක් නිවාඩු දමා ඇති අතර, එය ඔස්ට්‍රේලියානු දේශපාලනයේ වඩාත් කැළඹීමක් ඇති කළ සිදුවීමක් බවට පත්ව තිබුණි. එමෙන්ම, විරුද්ධ පක්ෂය ඉල්ලා සිටියේ අදාළ අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
මේ තත්ත්වය තුළ අමාත්‍ය මණ්ඩලයට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇති ඔස්ට්‍රේලියානු අගමැතිවරයා, සියලු මැති ඇමතිවරු ඒ යටතේ තම හැසිරීම පාලනය කරගත යුතු බව අවධාරණය කර සිටියි. ඔවුන් කිසිම විටෙක සිය කාර්ය මණ්ඩලය සමග ලිංගික ඇසුරක් නොපැවැත්විය යුතු බව පවසන අගමැතිවරයා, එය අනිවාර්යය කරුණක් බවද අවධාරණය කරයි.