බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ නියමිත කාලයට පෙර එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් කැඳවන ලද එරට මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (08දා) ආරම්භ විය.
මෙවර මහ මැතිවරණය සඳහා මිලියන 46.9 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් ලෙස සිටිති.
බ්‍රිතාන්‍ය වේලාවෙන් අද උදෑසන 7.00 ට ආරම්භ කෙරුණු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 40,000ක් විවෘතව පවතින අතර, රාත්‍රී 10.00 ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමට නියමිතය.
2015 මහ මැතිවරණයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ට වඩා මිලියන භාගයක වැඩිවීමක් මෙවර මහ මැතිවරණයේදී දැකිය හැකිය.
මෙම මැතිවරණයේදී දැනට බලයේ සිටින කන්සවේටිව් පක්ෂය ඉදිරියෙන් සිටින බව පූර්ව මැතිවරණ නිරීක්ෂණයන් පෙන්වා සිටියත්, කම්කරු පක්ෂයද කරට කර තරගයක් සඳහා සූදානම් වන බවද තොරතුරු වාර්තා වෙයි.
පාර්ලිමේන්තුව විසුරුවන විට ආසන 650 කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 330ක් පාලක කන්සර්වේටිව් පක්ෂයට හිමිවූ අතර, ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයට හිමිව තිබුණේ ආසන 229ක් පමණි.
එමෙන්ම, මීට පෙර පැවති 2015 මහ මැතිවරණයේදී ස්කොට්ලන්ත ජාතික පක්ෂය ආසන 54 ක් දිනාගත් අතර, ලිබරල් ඩිමොක්රටික් පක්ෂයට ආසන 9 ක්ද, ප්ලයිඩ් කම්රු පක්ෂයට ආසන 03ක්ද හිමි විය. නමුත්, හරිත පක්ෂයට එම මැතිවරණයේදී දිනාගැනීමට හැකි වූයේ එක් මන්ත්‍රී ආසනයක් පමණි.
එමෙන්ම, එක්සත් රාජධානියේ නිදහස් පක්ෂය හෙවත් UKIP හි එකම මන්ත්‍රීවරයා පසුව පක්ෂයෙන් ඉල්ලා අස් වී ස්වාධීන මන්ත්‍රීවරයකු බවට පත්විය. මේ අතර උතුරු අයර්ලන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 22ක් තේරීපත් වී සිටින අතර, ඒ අතරින් ෂින් ෆේන් පක්ෂයේ මන්ත්‍රීවරු 04 දෙනෙක් වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ අසුන් නොගනිති.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණයට පෙර බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් සංගීත ප්‍රසංගයට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය මරාගෙන මැරෙන ප්‍රහාරය මෙන්ම, පසුගියදා මධ්‍යම ලන්ඩනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයද මැතිවරණය පැවැත්වෙන දින දැඩි ආරක්ෂාවක් යෙදවීමට හේතු විය.
එමෙන්ම, බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය ජනජීවිතයට මහත් තර්ජනයක් එල්ල කර ඇති ත්‍රස්ත බිය මුලිනුපුටා දැමීමට දැඩිව කටයුතු කරන බව වත්මන් අගමැතිනී තේරේසා මේ මැතිවරණයට පෙර ප්‍රතිඥා දීමද විශේෂත්වයකි. ඒ නිසා, මෙවර මැතිවරණයේදී බ්‍රිතාන්‍ය වැසියන් මේ වනවිට මුහුණදෙන ඒ ත්‍රස්ත බියද ප්‍රධාන සාධකයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.