Brexit ජනමතවිචාරණ ප්‍රතිඵලයත් සමග මේ වනවිට බ්‍රිතාන්‍යය ආර්ථිකයේ දැඩි කැළඹීමක් ඇති වී තිබේ.
එහි මූලික කාරණය ලෙස වසර 31 කට පසුව ප්‍රථම වරට ඩොලරය හමුවේ ස්ටර්ලිං පවුම ප්රබලතම පසුබෑම පෙන්නුම කර ඇති ඇත. එමෙන්ම, වසර 10ක රජයේ සුරැකුම්පත්වල ඉපැයීම් ප්‍රථම වරට 1% ක පසු බැසීමක් පෙන්වා ඇත.
මීට අමතරව, ගුවන්සේවා, ගොඩනැගිලි ඉදිකිරීම් හා බැංකු ක්ෂේත්රයේ කොටස්වල පසුබැසීම වඩාත් දරුණු තත්ත්වයක් ගනිමින් බ්‍රිතාන්‍යය කොටස් වෙළෙඳ පොළ තුළද කැපී පෙනෙන කඩා වැටීමක් පෙන්නුම් කර ඇත.
බ්‍රිතාන්‍යය ජනතාව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කිරීමත් සමග බ්‍රිතාන්‍යයේ මෙන්ම ගෝලීය වෙළෙඳ පොළේ ඇතිවී ඇති වූ මේ කැළඹීම හමුවේ සන්සුන්ව ක්‍රියාකළ යුතු බව බ්‍රිතාන්‍යයේ රාජ්‍ය භාණ්ඩාගාර චාන්සලර්වරයා වන ජෝර්ජ් ඔස්බෝර්න් පවසා ඇත.
මේ ඓතිහාසික ජනමතවිචාරණයෙන් පසු ප්‍රථම වරට ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ බ්‍රිතාන්‍ය ආර්ථිකය ජනතා කැමැත්තට අනුව හැඩගසා ගත යුතු වන බවය. කෙසේ වෙතත්, ඔහු අවධාරණය කර ඇත්තේ ශක්තිමත් ස්ථාවරයක හිඳිමින් අනාගත අවිනිශ්චිතතාවන්ට දැඩිව මුහුණදිය හැකි සැලසුම් තුළින් එය කළ යුතු බවය.