වාර්ෂිකව පැවැත්වෙන ලොව විශාලතම ජනමාධ්‍ය ඡායාරූප තරගාවලිය ලෙස සැලකෙන ‘ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරගාවලියේ’දී (The World Press Photo Contest) 2013වසරේ ලෝක ජනමාධ්‍ය ඡායාරූපය ලෙස තේරීපත්ව ඇත්තේ සඳ ඇති රැයක තම ජංගම දුරකථන අහසට ඔසවාගෙන ඊට දුරකථන සංඥා අසුකර ගැනීමට වෙරදරන අප්‍රිකානු සරණාගතයන් පිරිසක් රැගත් ජෝන් ස්ටැන්මේයර්ගේ ඡායාරූපයයි.
උණ්ඩකැබලි හා සුන්බුන්වලින් ආවරණය වීමට දිවයන සිරියානු කැරලි හමුදාවන්, මෙක්සිකෝවේ පාලමක් මත ගෙලවලලා එල්ලෙන මිනිසුන්, නයිරෝබි නුවර වෙස්ට්ගේට් ප්‍රහාරය අවස්ථාවේ ජීවිත බේරාගැනීමට ගුලිවී සිටින පවුලක් ආදී වශයෙන් මෙවර ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරගාවලියේ තරග වැදුණු ප්‍රබල ඡායාරූප අභිභවමින්, 2013 වසර සඳහා වඩාත් අවධානයට ලක්වූ ඡායාරූපය බවට පත්වීමට ඇමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පී ජෝන් ස්ටැන්මේයර් විසින් වසර 2013 පෙබරවාරි මාසයේදී ජිබවුටි වෙරළ තීරයේදී ගනුලැබූ ඡායාරූපය සමත්වන ලදී.
ජයග්‍රාහී ඡායාරූපය තෝරාගැනීම සඳහා කටයුතු කළ ජූරියේ සභිකයෙකු වූ ජිලියන් එඩ්ල්ස්ටෙයින් 2013 ලෝක ජනමාධ්‍ය ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, “මේ ඡායාරූපය තවත් කතා බොහෝමයක් සමග බැඳී තිබෙන ඡායාරූපයක්. තාක්ෂණය, ගෝලීයකරණය, සංක්‍රමණය, දිළිඳුබව, බලාපොරොත්තු නැති බව, දුරස්ථීබව, මනුෂ්‍යත්වය ආදී බොහෝ දේ ගැන සංවාදයක් මේ ඡායාරූපය ඇති කරනවා. එය විචිත්‍රවත් මෙන්ම, ප්රබලව සියුම් වූ වෙනස්කම් පෙන්වන ඡායාරූපයක්. විචක්ෂණශීලී ලෙස, කවියක් ආකාරයෙන්, ටිකෙන් ටික තේරුම් කරවන, අතිශය වැදගත්කමක් ඇති සහ වර්තමාන ලෝකයට අදාළ සිදුවීම් මේ ඡායාරූපය තුළින් ගෙන එනවා.” යනුවෙනි.