උතුරුදිග ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අතුරුදන් වූ තවත් තරුණියක් සමූහ දූෂණයට ලක්කිරීමෙන් පසු මරා දමා ගසක එල්ල සිටියදී හමුවී ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
19 හැවිරිදි තරුණියගේ ඥාතීන් පවසන පරිදි මෙම තරුණියද දූෂණයකට ලක්ව ඇති අතර, ඇයගේ මරණ පරීක්ෂණය සිදුකෙරෙමින් පවතින බව කියැවෙයි.
ප්‍රාන්තයේ තවත් කාන්තාවක් මරා දමා ගසක එල්ලා සිටියදී හමුවී දිනක් ගතවීමටත් පෙර මෙම සිදුවීම වාර්තා විය.
එමෙන්ම, පසුගිය මාසයේදී තරුණියන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක්කර මරා දමා ගසක එල්ල සිටියදී හමුවූයේද උත්තර ප්‍රාන්තයෙනි.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් කාන්තාවන්ට සිදුවන හිංසනයන් උත්තර් ප්‍රාන්තයේ සාමාන්‍ය සිදුවීම් ලෙස කාලයක පටන් සිදුවුවත්, පසුගිය සිදුවීම් සමග ඒවා මාධ්‍යයට හා රටට හෙළි වෙන බව වාර්තා වෙයි.
මොරදාබාද් නම් දිස්ත්‍රික්කයේ පොලිස්පතිවරයා කියා සිටියේ 19 හැවිරිදි මෙම තරුණිය පසුගිය බදාදා සවස සිට අතුරුදන් වූ බවට පැමිණිල්ලක් ලැබුණු බවයි.
ඔහු තව දුරටත් කියා සිටියේ, ගසෙහි එල්ලීමට පෙර ඇය දූෂණයට ලක් වුවා ද යන්න සොයා බැලීමට දේහය මරණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බවයි.
පසුගිය සති කිහිපය ඇතුළත එවැනි ඉරණමකට මුහුණදුන් අනෙක් තරුණියන් මෙන් ඉහත කී තරුණියත් ඉන්දියාවේ හීන කුලයකට අයත් තැනැත්තියක් බව වාර්තා වෙයි.