ශල්‍ය ප්‍රතිකාර යනු කිසියම් රෝගයකදී පවතින තත්ත්වය ,ඖෂධ හෝ වෙනත් පිළියම්වලින් සුව කිරීමට අපහසු අවස්ථාවල නිර්දේශවන ප්‍රතිකාර ක්රමයකි. නමුත් ඒ වැනි ප්‍රතිකාරයක් සඳහා රෝගියෙකු රෝහල්ගත කළ විට රෝහලෙන් සැලකිළිමත්වන කරුණු රාශියක්ම පවතී. ඇතමුන් ශල්‍යකර්ම සඳහා ලබා දී ඇති දින ඉක්මන් කරවා ගැනීමට විවිධ ආකාරයේ ක්‍රම අනුගමනය කරතැයි බොහෝ විට අසන්නට ලැබෙන්නකි. රෝහල් ගත කළ වහාම රෝගියා හදිසි අවස්ථාවක පසුවන්නෙක් නෙවේ නම් දින කීපයක් රඳවා තබාගෙන සියලු පරීක්ෂණ සිදු කරවා අවසානයේ ශල්‍යකර්මයට බඳුන් කරන අතර රෝහල් ගත කළ රෝගියා නිකරුණේ රඳවා තබාගෙන සිටිතැයි මෙවිට ඇතමුන් චෝදනා නගනු ද ඔබ අසා ඇති. ශල්‍යකර්මයක් සඳහා කිසියම් රෝගියෙකු නිර්දේශ වූ පසු රෝගියා සහ රෝගියාගේ ඥාතීන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු රැසක් සමග මෙවර අද සෞඛ්‍ය පිටුව සැකසෙයි.
රෝගියෙකු ශල්‍යකර්මයක් සඳහා නිර්දේශකරන විට වඩාත්ම ශල්‍යවෛද්‍යවරයෙකු අවධානය යොමු කරනුයේ එම ශල්‍යකර්මය රෝගියාට ඔරොත්තු දිය හැකි ශාරීරික යෝග්‍යතාවයක් තිබෙනවාද යන්නයි. එයට හේතුව ඇතැම් විට ශල්‍යකර්මවලදී රෝගියා කලාතුරකින් හෝ කිසියම් සංකූලතාවයකට ගොදුරු වෙන්නට ඉඩ ඇති බැවිණි. ශල්‍යකර්මයක අරමුණ රෝගියා සුවපත් කිරීමය. නමුත් ඉඳහිට හෝ ශල්‍යකර්මයකින් පසු රෝගියා පසු සංකූලතාවන් පෙන්වන්නට ඉඩ තිබේ. රෝගියා ශල්‍යකර්මයට ලක්වෙනුයේ සිරුරේ මතු වූ ආගන්තුක ගෙඩියක් වැනි යමක් ඉවත් කිරීම සඳහා නම් පළමුව ඒ ගෙඩිය සාමාන්‍ය අර්බුධයක් ද නොඑසේනම් පිළිකාවක් නිසා මතුවූවක්ද යන්න පරීක්ෂණ ගණනාවනික් අනතුරුව සනාථ කරගෙන එයින් පසුව රෝගියාව ශල්‍යකර්මයට බඳුන් කෙරෙනුයේ එම ශල්‍යකර්මය සියයට සියයක් නිවැරදිව සිදුකරවීමටය. නොඑසේනම් ශල්‍ය කර්මයෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන්නට ඉඩ තිබේ.
ශල්‍යකර්මයට පෙර රෝගියා ඊට ඔරොත්තු දෙන ශාරීරික යෝග්‍යතාවයකින් පසුවනවාද යන්න තරයේ සොයාබලන බව අප මීට පෙරදීද සඳහන් කළෙමු. රෝගියා පිටතින් නිරෝගීබවක් පෙන්වූවාට අධි රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි නිදන්ගත තත්ත්වයන් සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානය යොමු කර ශල්‍යකර්මයට පෙර රෝගියාගේ සෙසු අසනීප තත්ත්වයන් පාලනය කරවීම සාමාන්‍ය දෙයකි. රෝගියාගේ රුධිර පරීක්ෂණ සහ පද්ධති සියල්ලම හොඳින් ක්‍රියාකාරීව පවතිනවාද යන්න මෙසේ සොයා බැලෙයි. විශේෂයෙන් මොළයට යන ස්නායු සහ රුධිර වාහිනී ශල්‍යකර්මයට ඔරොත්තු දීමට තරම් නිරෝගීද යන්න තීරණය කිරීමට නිර්වින්දන වෛදවරයෙකුගේ සහය පතනු ලබයි.
සැබවින්ම අප රටේ පොරොත්තු ලේඛණය පිටරටවල තරම් දිගුනැත. එම රටවල රෝගියෙකුට වෛද්‍යවරයෙකු අතින් සුලු හෝ අතපසුවක් වීම වැළැක්වීමට දැඩි නීති පනවා ඇති හෙයින් ශල්‍යකර්ම පොරොත්තු ලේඛණයේ වසර තුනහතරක් මුලුල්ලේ රැඳී සිටීමට එරට රෝගීන්ට සිදුව ඇති අතර මේ නිසා වෛද්‍යවරයෙක් අතින් සුලු හෝ වැරැද්දක් සිදුවන්නට ඉඩක් එම රටවල් වල නොපවතී. නමුත් අප රටේ මාස ගණනක ඇරෙන්න වසර ගණනක් වන පොරොත්තු ලේඛණ නැත.
නමුත් අප රටේ පූර්ව වෛද්‍ය පරීක්ෂණවලින් රෝගියාට අවශ්‍ය ඉක්මන් ශල්‍ය ප්‍රතිකාර යැයි හෙළි වුහොත් පොරොත්තු ලේඛණයෙන් පිට වහා ඔහු හෝ ඇය ශල්‍යකර්මයට බඳුන් කරනුයේ හදිසියේ රෝගියා බේරා ගැනීම සඳහා එය අත්‍යවශ්‍ය පියවරක් වන්නේ නම්ය. එනම් යම් අයුරකින් රෝගියා පිළිකාවකින් පෙළෙන්නේ යැයි සිතමු. එවිට එවැන්නෙකු පොරොත්තු ලේඛණයේ තබන්නේ නැත.වහාම ඒ ශල්‍යකර්මය සිදුකරනුයේ එය අනෙකුත් අවයව වලට පැතිර යා හැකි බැවිණි. එහෙයින් පොරොත්තු ලේඛණයේ උඩට එන්නට කිසිවෙකු වෙර දැරිය යුතු නොවන්නේ හදිසියේ කළ යුතු ශල්‍යකර්මයක් නම් වෛද්‍යවරයා ඒ සඳහා වහා ඉදිරිපත් වෙන බැවිණි.
ශල්‍යකර්මයක් සිදුකිරීමට පළමු රෝගියාගේ යෝග්‍යතාවය බලා එසේ නොවන්නේ නම් ශල්‍යකර්මය පසු කරන්නට ඉඩ ඇති බව අප මුළින් කීවා ඔබට මතක ඇති. නමුත් හදිසි අවස්ථාවකදී ඒවා සොයා බලන්නට පෙරාතුව රෝගියාගේ අත්‍යාවශ්‍ය කරුණ වෙනුවෙන් ශල්‍යකර්මයට ලක් කර දෙවනුව රෝගියාගේ අනෙකුත් රෝග තත්ත්වයන් සහ යෝග්‍යතාවය නැති කිරීමට සමත් වූ තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කරනු ඇත. එවැනි ශල්‍යකර්ම ලෙස හදිසි අනතුරු ආදියෙන් වන අවශ්‍යතා සඳහන් කළ හැකිය. එවැනි අවස්ථාවක අත්‍යවශ්‍ය ශල්‍ය ප්‍රතිකාරය මුලින් ලබා දී පසුව රෝගියාගේ අනෙකුත් ශාරිරික තත්ත්වයන් සම්බන්ධව ප්‍රතිකාර යොදනු ඇත.
දැන් දැන් ශරීර අවයව බද්ධකිරීම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිව තිබේ. කෙතරම් හදිසි වුවත් හෘදයවස්තුව බද්ධ කිරීම වැනි ශල්‍යකර්මයකදී ශරීරයේ අනෙකුත් පද්ධති ඉතා හොඳින් ක්‍රියාකාරී වන මටිටමක පැවතිය යුතුය. විශේෂයෙන් හෘදයවස්තුව බද්ධකිරීමට පෙර පෙණහැල්ලේ ක්‍රියාකාරිත්වය සහ පීඩනය හොඳින්ම සොයාබලනු ඇත.යම් අයුරකින් නිර්වින්දන වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව පෙණහලුවල ප්‍රෙෂර් වැඩි යැයි නිගමනය වුවහොත් හෘදයවස්තුව බද්ධකිරීම වැනි ශල්‍යකර්ම සිදුකරවීමෙන් වැළකෙන්නේ රෝගියා එයින් මිය යාමට ඇති හැකියාව නිසාය. පසුගිය කාලයේ ශල්‍යකර්ම සම්බන්ධයෙන් අවබෝධයක් නැති අයවලුන් විසින් එවැනි හදවත් බද්ධයක් සිදුකිරීමට බලපෑම් කිරීම තුළ සිදුවූයේ එම ශල්‍යකර්මය අසාර්ථකවීමය. යම් අවස්ථාවක කිසියම් අවයවයක් බද්ධකරන්නට වුවහොත් එයින් රෝගියාගේ ජීවිතයට එල්ල විය හැකි අවදානම ඉහළින්ම සලකා බැලෙන අතර වෛද්‍යවරයෙක් විසින් එවන් ශල්‍යකර්මයක් නිර්දේශකිරීමට පෙර බොහෝ කරුණු ගැන සැලකිළිමත් වෙයි.
ශල්‍යකර්මයකදී වඩාත්ම අවදානය යොමු කරන කරුණක් ලෙස නිර්වින්දන කාර්යයද සැලකිය හැකිය. රෝගියා ශල්‍යකර්මයට ලක්කිරීමට පෙර රෝගියාට සුදුසු නිර්වින්දන ක්‍රමය සම්බන්ධයෙන් අවධානයක් දක්වනු ලබයි.රෝගියාගේ රුධිරවාහිනී සහ පෙණහලුවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වගකීම නිර්වින්දන වෛද්‍යවරයා විසින් දරන බැවින් රෝගියා වඩා සුදුසු කුමන නිර්වින්දන ක්‍රමයටද යන්න පළමුව නිර්ණය කරනු ලබයි.පූර්ණ වශයෙන් නිර්වින්දනයට ලක් කරන විට අත්‍යවශ්‍යයෙන්ම රෝගියා ශල්‍ය කර්මයට සුදුසු ශාරීරික යෝග්‍යතාවයක පසුවනවාද යන්න සොයා තහවුරු ලෙස කටයුතු කරනු ලබයි. මේ හැරෙන්නට ලෝකල් ඇනස්තීසියා නමින් හඳුන්වන හිරි වැටිටීම තුළින් සිදු කරන ශල්‍යකර්මද පවතියි. එයින් සිදුකරනුයේ අදාල ප්‍රදේශය පමණක් නිර්වින්දනයට ලක් කිරීමයි. නමුත් එවන් අවස්ථාවලදිද රෝගියාගේ රුධිර සංයුතිය ඇතුලු ඉතාම වැදගත් කරුණු පිළිබඳ දැඩි අවදානයක් දක්වනු ලබයි.
දියවැඩියාව සහිත රෝගීන්ට වෙනත් රෝගීන්ට මෙන් නොව ආසාදන ඇතිවීම් ඉතාම වැඩිය. මේ නිසා ඇතැම් රෝගීන්ට ඔරොත්තුදීමේ හැකියාව වැඩිදියුණු කරවීමට ශල්‍යකර්මයට පෙර සිටම ප්‍රතිජීවක ඖෂධ ලබාදීම ආරම්භ කිරීමට පුලුවන.
ඇතැම් රෝගීන්ගේ ශරීර කොටස් ඉවත් කරවන අවස්ථාවලදී රෝගියා ශල්‍යකර්මයෙන් පසු සාමාන්‍ය ජීවිතයකට හුරු කරවීම සඳහා පුනරුත්තාපන කටයුතු ආරම්භ කිරීමද විශේෂ දෙයකි. ඒවා සිදුකරනු ලබන්නේ රෝගියා ශරීර කොටස ඉවත් කිරීමට ප්‍රථමව ය. කිහිලි කරුවලින් ඇවිදීම වැනි දෑ උදාහරණ වශයෙන් පැවසිය හැකිය. දැන් අප ශල්‍යකර්මයකදී රෝගියාට මෙවැනි උපදෙස් ලැබෙන්නේ ඇයි දැයි විමසමු.
ශල්‍යකර්මයට පැය හයකට පෙරවත් ඝන ආහාර ගැනීම නැවැත්විය යුතු යැයි ඔබට උපදෙස් ලැබෙන්නට පුලුවන. ශල්‍යකර්මය හා ආහාර අතර ඇති සම්බන්ධය කුමක්දැයි ඔබට කුකුසක් මතුවෙන්නට ඉඩ තිබේ. සාමාන්‍යයෙන් සිහිනැතිකර සිදුකරන ශල්‍යකර්මයකදී රුධිරවාහිනී පද්ධතිය සහ ස්වසනය සිදුකරනුයේ මැෂින් ආධාරයෙනි.එමෙන්ම රෝගියෙකු බොරුදත් පැළඳ සිටීනම් ඒවා ඉවත් කර කිරීම අවශ්‍යය. මන්ද ස්වාස නාලය තුළට බට ඇතුලු කිරීමේදී එයින් අවහිරයක් ඇති විය හැකි බැවිණි.
රෝගියාට පැය හයකට කළින් ඝන සහ දියර ආහාර ලබාදීමෙන් වැළකී සිටිනු ඇත. සාමාන්‍යයෙන් ඝන ආහාර පැය හතරක පමණ කාලයක් ද දියර ආහාර පැය දෙකක් වැනි කාලයක් ද ආමාශය තුළ තිබිය හැකිය. සමහර රෝගීන්ට නිර්වින්දන ඖෂධ හේතුවෙන් වමනය ඇති විය හැකි අතර ඒවා ස්වාස නාලය වෙත ගමන් කළහොත් දරුණු සංකූළතා මතුවන්න ඉඩ තිබේ.එහෙයින් රෝගියා නිරහාරව තැබීම සිදුකරනු ලබන්නේ එම සංකූළතා නවත්වන්නටයි.යම් ආකාරයකින් ආමාශය තුළ දියර කොටස් රැදී පැවතුණහොත් ඒවා පෙණහැල්ලට ඇතුලුවීමේ හැකියාවක් පවතින්නේ ආපසු උඩට ගලා ඒම නිසායෙනි. මේ නිසා රෝගියාට නියුමෝනියා තත්ත්වයක් ඇතිවන්නට පවා ඉඩ තිබේ. ශල්‍යකර්මයෙන් පසු ඇති විය හැකි පසු සංකූලතා නවත්වන්නට උපදෙස් ලැබෙන්නේ රෝගියාගේම යහපත පිණිසය. ශල්‍යාගාරයට ගැනීමට ප්‍රථම හිස කෙස් දෙපතුල් යනාදියද හොඳින් ආවරණය කරන ලෙස ඔබට උපදෙස් ලැබෙන්නට පුලුවන. එයද ඔබගේ ආරක්ෂාව පිණිස සැලසුම් කළ ක්‍රියාවකි. ශල්‍යකර්මයට පෙර ඔබට කිසියම් ඖෂධ වර්ග හෝ ප්ලාස්ටර් වර්ගවල අසාත්මිකතාවයක් තිබේ නම් ඒ සම්බන්ධව වෛද්‍යවරයාට පැවසිය යුතු බව මතක තබාගන්න. එයින් අනතුරුව අප යොමුවන්නේ ශල්‍යකර්මයකදී ඔබට ලැබෙන තවත් අනිවාර්ය කරුණක් සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කිරීමටයි. ශල්‍යකර්මයට ශල්‍යාගාරයට ගෙනයන්නට පෙර ඔබ පැළඳ සිටින සියලුම වර්ගවල ලෝහ ආභරණ ආදිය ඉවත් කළ යුතුව තිබේ. එයට හේතුව ඔබගේම ආරක්ෂාවයි. රුධිරය ගැලීම නවත්වන්නට සහ අදාල ස්ථානය කැපීමට ඉලැක්ට්රොකෝටරි උපකරණ භාවිත වන බැවින් ආබරණ ලෙස කිසියම් ලෝහ වර්ගයක් පැවතිය හොත් පමණක් රෝගියාට පිළිස්සීමක් ඇති විය හැකිය. නමුත් කිසියම් මෙටල් වර්ගයක් සිරුර තුළ පැවතිය විට පිළිස්සීමක් වන්නට ඉඩක් නොවන අතර පැළඳ සිටින ඒවා නිසා පමණක් එසේ විය හැකිය. දැන් ඔබ ශල්‍යකර්මයකට ඔබව නිර්දේශවී ඇත්නම් ඒ සඳහා ඔබට ලබාදී ඇති උපදෙස්වල තත්ත්වය හොඳින්ම අඳුනයි. ශල්‍යකර්ම ඉක්මන් කරගැනීමට ක්රියාකරන්නට පළමු මදක් සිතා බලන්න. එම පමාව ඔබගේ අනෙකුත් පද්ධතිවල නිරෝගීතාව පිළිබඳ සහතික වශයෙන් දැනගන්නා තුරු කෙරෙන ප්රමාදයකි. මේ නිසා ඒ සම්බන්ධයෙන් ඔබේ සහය වෛද්‍යවරුන් වෙත හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලබාදෙන්නට වග බලා ගන්න. එවිට ඔබට ඉතාම සාර්ථක ශල්‍යකර්මයකට මුහුණ දී සුවපත් වීමේ අවස්ථාව හිමිවනු නියතය.