පුරා තිස්වසරක් මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක් සිදු කළ රුදුරු කොටි ත්‍රස්තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරයක් තම ජීවිතය පූජාකරමින් වළක්වා සහෝදර සෙබළුන් 1500 කට ආසන්න ප්රමාණයකගේ ජීවිත බේරාදුන් හසලක වීර ගාමිණී සෙබළා දැයෙන් සමුගෙන අදට විසිතුන් වසරක් සපිරේ.
1966 වසරේ සැප්තැම්බර් මස 22 වැනි දින හසලකදී උපත ලද වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස්දෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවැන්නා විය. හසලක ප්‍රදේශයේ ගොවියෙකු වූ වයි.බී. බාබානිස් ගාමිණීගේ පියා වූ අතර, 1980 දී ඔහු මිය යාමෙන් පසුව සිය මෑණියන් වන වයි.බී.ජුලියට් සහ සෙසු සොහොයුරන් සහ සොහොයුරිය සමග හසලක ප්‍රදේශයේ කුඩා නිවසක ගාමිණී ජීවත් විය.
සාමාන්‍ය සෙබළෙකු ලෙස හමුදා සේවයට බැඳුණු ගාමිණී කුලරත්න මියයන විට ලාන්ස් කෝප්රල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය. සිද්ධිය වූ 1991 වසරේ ජූලි මස 14 වැනි දින අලිමංකඩ යුද හමුදා කඳවුර අසල ආරක්ෂක සෙබළෙකු ලෙස ඔහු සේවය කළේය. බෝම්බ පුරවාගත් කොටි බුල්ඩෝසරයක් අලිමංකඩ හමුදා කඳවුර පුපුරවා විනාශ කර දමන්නට පැමිණෙමින් සිටින බවට හදිසි තොරතුරක් ඔහුවෙත ලැබුණේ මේ අතරවාරයේය. ඒ වනවිට කඳවුරෙහි සිටි සහෝදර සෙබළුන් විශාල පිරිසකගේ ජීවිත විනාශවන්නට යන ආකාරය ඔහුට මැවී පෙනෙන්නට පටන්ගැනීමත් සමග වහා ක්‍රියාත්මක වූ ගාමිණී කුලරත්න සෙබළා බෝම්බ පුරවාගත් බුල්ඩොසරය වේගයෙන් තමා පසුකර යන්නට සැරසෙනවාත් සමගම තම අත තිබූ ග්‍රේනේඩ් බෝම්බ දෙකද සමග වහාම කොටි බුල්ඩෝසරයට පැනනේ තම ජීවිතය ගැනද නොසිතමිනි. මොහොතකින් එහි තිබූ බෝම්බ සියල්ල පුපුරා ගොස් බුල්ඩෝසරයද විනාශ වූයේ ගාමිණී කුලරත්න වීර සෙබළාගේ ජීවිතයද අහිමි කරමිනි
හසලක ගාමිණී කුලරත්න සෙබළාගේ වීර ක්‍රියාව වෙනුවෙන් එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඔහු 'පරම වීර විභූෂණ' සම්මානයෙන් පුදා එම සම්මානය ඔහුගේ මෑණියන්ට ප්රදානය කර, හසලක නගර මධ්‍යයේ ඔහුගේ පිළිරුවක්ද ඉදිකරනු ලැබීය. 'පරම වීර විභූෂණ' සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම රණවිරුවා වීමේ ගෞරවයද හසලක වීරගාමිණී සෙබළාට හිමිවීම විශේෂත්වයකි.
මීට අමතරව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අලිමංකඩ හමුදා කඳවුර අසල පිපිරීම සිදුවූ ස්ථානයේ වීරගාමිණී සෙබළාගේ සිහිවටන පිළිරුවක් ද ඉදිකරවන ලදී.
හසලක වීරගාමිණී රණවිරුවා රටදැය වෙනුවෙන් දිවිපුදා විසිවසරක් පිරුණු අවස්ථාවේ ඔහුගේ මෑණියන් සහ සොයුරු සොයුරියන් මුණගැසීමට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ලෝරන්ස් මාදිවල මහතා වත්තල ප්‍ර‘දේශයේ සමිති සමාගම් කීපයක නියෝජිත පිරිසක් සමග තෑගිබෝගද රැගෙන හසලක නිවසට ගිය අවස්ථාවේ ගත් ඡායාරූපයකි මේ. එම අවස්ථාව සිහිවීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එවා තිබූ විශේෂ සමරු තිළිණයක් වීරගාමිණී රණවිරුවාගේ මෑණියන් වන වයි.පී. ජුලියට් කුලරත්න මහත්මිය වෙත මාදිවෙල මහතා එහිදී භාරදුන් අවස්ථාව