Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ග්‍රීක පෞර රාජ්‍ය බිහිවූ සමයේ පටන් නූතන ආණ්ඩුක්‍රම සංකල්පය දක්වාම වූ කාලපරාසය තුළදී රාජ්‍ය, පාලකයා, පාලනය ආදී සියලු වදන් ගොඩනැගුණේ ජනතාව වෙනුවෙනි. ඍජුවම කිවහොත් දේශපාලනය තුළ දේශපාලකයා එදා මෙන්ම අදද කරලියට ඒමේදී හුවා දක්වන්නේ තම පරම පවිත්‍ර දේශපාලන චේතනාව ජනතාවට සේවය කිරීම බවයි.
කාලයත් සමග අමතකව යන දේශපාලන පොරොන්දු ගොන්න් ඉතිරි වන්නේ බලය උදෙසා සිදුකරන අරගලයක් පමණි. එතනින් ඛේදනීයම තත්ත්වය වන්නේ එකී බල අරගලය තුළ තැලෙන්නෙත් පොඩිවන්නෙත් සාමාන්‍ය ජනතාව වීමයි.
බලතල බෙදීමේ න්‍යාය දේශපාලන ක්‍රමවේදය තුළ විග්රහ කිරීමේදී එහි අරමුණ වූයේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ ත්‍රිත්වයේ බලය එකිනෙකින් වෙන් කිරීමය. එහෙත් එකී අරමුණු කොතෙක් දුරට සාක්ෂාත් වීද යන්න නම් ගැටලුවකි. එකිනෙකෙහි අත පෙවීමකින් තොරව බලය බෙදාහැරීම සාර්ථක නොවනවා මෙන්ම ලංකාව වැනි රටක එය ඒ තරම් ප්‍රායෝගික තත්ත්වයක් ද නොවේ. අධිකරණය තරමක් හෝ ස්වාධීන වූවද ව්‍යවස්ථාදායකය හා විධායකය අතර පවත්නා අවිච්ඡින්න බැදීම මෙරට දේශපාලන ධාරාව තුළදී බිඳ හෙලීම තරමක් අසීරු තත්ත්වයක් ද වෙයි.
දේශපාලන බලය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඒකරාශී වීම තුළින් ජනතා නිදහසට එල්ල විය හැකි තර්ජන අවම කිරීමට හොඳම ක්‍රමය ලෙස ප්‍රංශ ජාතික චාල්ස් මොන්ටෙන්ක්යු 1748 දී 'නීතියේ සාරය' (The Spirit of Low) හිදී ඉදිරිපත් කළේ මෙවන්අර්ථ දැක්වීමකි.
“යම් කිසි අවස්ථාවකදී අධිකරණ බලය ව්‍යවස්ථාදායක බලය හා එකට එක්ව ඇත්නම් එය හිතුවක්කාරී පාලනයකට මග පාදනු ඇත. අනෙක් අතට අධිකරණ බලය විධායක බලය හා එකතු වී තිබේ නම් එය නියම ලෙසම හිංසාකාරී හා පීඩාකාරී පාලනයක්වේ. යම් අවස්ථාවක මෙම බලතල තුනම එක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මත ඒකාරාශී වී ඇත්නම් එය මිනිස් නිදහසේ තියෙන අවෘතනය වනු ඇත.
එය නූතනයටද බොහෝ සෙයින් වලංගුවන අතර, මෙම කාරණ කවදා නොතැන කුමන අවස්ථාවකට ගැලපේදැයි අවස්ථා සම්බන්ධ ගොඩනැගීම පාඨකයාට ඉතිරි කොට තබන්නෙමු.
මේ කියන්නට යන්නේ බලය ඇත්තේ බලය ඇති කල්හි ව්‍යවස්ථාදායක, විධායක මෙන්ම අධිකරණයද ස්වකීය ආධිපත්‍යයට නතුකරගෙන ගෙන ගිය පාලනය බලය හීන වූ කල්හිද කරන්නට යෑමෙන් බලය සියතට ගන්නෝ බලය නැති කල්හි කියූ දේ අතහැර පෙරවුන් ගිය මගම යෑමෙන් සංසිද්ධිය පිළිබඳ කතාවයි. කෙසේ වූවද ඉන් පාලනය වන්නේ මිනිස් නිදහස බවද ඉඳුරාම සටහන් තැබිය යුතුම වෙයි.
පසුගියදා ආන්දෝලනාත්මක කතිකාවක් මවමින් හම්බන්තොටදී ආණ්ඩුව විරෝධතාකරුවන්ට පහරදුන්නේය. එය හරියටම කිවහොත් 'රතුපස්වලදී ආණ්ඩුව විරෝධතාකරුවන්ට පහදුන්නේය' යන මාතෘකා පාඨයේම නම් ගම් වෙනස් කිරීමක් පමණි. කුමන ආණ්ඩුව එසේ කවුරුත් සිදු කළද විරෝධතාකරුවෝ මහජනතාවය. ඔවුන්ගේ ඉල්ලීම් විවිධ ඒවා වූවද ගැටෙන්නේ පවතින ආණ්ඩුවත් සමගය.
මහජනතාව තම අයිතීන් ඉල්ලා හඬනැගීම සාධාරණය. එහෙත් එකී අහිංසක ජනතාව බිලීකොක්කේ අමුණා එකිනෙකාගේ දේශපාලන ඇමවල් ගිල්වීම නම් කිසිසේත් අනුමත කළ නොහැක. පැහැදිලිවම කිවහොත් 'බළලුන් ලවා කොස් ඇට බෑවීමේ' ක්‍රමය තුළ ජනතාව බළලාට ඇන්දවීම ඒතරම් උචිත ක්‍රියාවක් නොවීමය.
තම අවශ්‍යතා හා හිමිකම් අහිමි වන බව දැනගත් විට කුපිත වීම සාමාන්‍ය මිනිස් ස්වාභාවය වන අතරම එකී පොදු මිනිස් ස්වභාවයෙන් ප්‍රයෝජන ගත්තේ වෙනත් පිරිසක්ය. එය හෙලා දැකිය යුතුමය.
හම්බන්තොට සිද්ධිය පිළිබඳ කතා කිරීමේදී අත්සන් එකතු කරන්නට, ජනතාව දැනුවත් කරන්නට ගිය ජනතාව වෙනුවෙන් එක්වරම හදවත් උණු වූ බේබිලාට අමතක වූ අතීතයක් තිබේ. ඒ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා ඉදිකරන්නට මෙන්ම හම්බන්තොට උද්‍යානයක් ඉදිකරන්නටත් අක්කර ගණන් ඉඩම් අත්පත් කරගත්තේ ඒ බේබිලා හා බේබිලාගේ තාත්තලාය.
අනෙක් අතට හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපයක් සඳහා ඉඩම් වෙන් කළේද ඒ අයයි. ඔවුන්ගේ ආණ්ඩු සමයේදීය. එසේ වූ ව්‍යාපෘති ආණ්ඩුව වෙනස් වූ පමණින් නරක ඒවා වූයේ කෙසේ දැයි දන්නෙත්, තම තමන් බලයේ සිටියදී හම්බන්තොට ජනතාව වෙනුවෙන් උණු නොවූ හදවත තෙත් වන්නෙත් ඇයිදැයි දන්නෙත් ඔවුන්මය.
එසමයේ හම්බන්තොට ගිය අපට ඒ ජනතාව කීවේ සිය ඉඩම් උදුරාගත් වේදනාවය. තවමත් පොල් අතු වලින් වසාගත් පියස්ස, වරිච්චි බිත්ති හතරකින් වටකරගත් හම්බන්තොට මිනිසුන්ගේ ඛේදාන්තය එදා අපි දුටුවෙමු. වරාය ඉදිරිපිට ව්‍යාපාර කළ ජනතාව පළවා දමා තිබුණේ විදේශිකයන් ගුවන්තොටුපොලේ සිට යන විට හිඟන්නන්සේ සිටිනු දැකීම ලැජ්ජාවට කරණක් බව පවසමිනි.
ඒ හම්බන්තොට ජනතාවට එදා ඉඩම් අහිමි වෙද්දී ලැබුණු ආදරයය. තවත් සමහරුන්ගේ ඉඩම් ලබාගෙන තිබුණේ ඉඩම් ලබාදීමේ පොරොන්දුවත් වූවද, ඒ ලබාදුන් ඉඩම් ලබාගෙන තිබුණේ ධනවත්, බලවත් උදවිය විසින්මය. අඩුම තරමින් ඒඉඩම් අහිමි වූවන්ට හෝ ඔවුන්ගේ දරුවෙකුටවත් ඒ ඉඩම් මත තැනුනු ආයතන වල ස්ථිර කම්කරු රැකියාවක්වත් හිමි වී තිබුණේ නැත.
ඉඩම් අහිමි වන ජනතාවගේ කඳුළු පිහින්නට ගිය බේබිලා ඇතුළු නඩයට එදා රජයක් යටතේ පාරට වැටුණු ජනතාවගේ දුකට උණු වූයේම නැත. එහෙත් හම්බන්තොට ඉදිවන කර්මාන්තපුරයට එකී ආණ්ඩු සමයේම වෙන් කළ ඉඩම් වල සිටි ජනතාව ගැන සිතා හම්බන්තොට පාරවල් දිගේ කිඹුල් කඳුළු නම් ගැලුවේය. තමන්ට තමන්ම අමතකවීමේ ලැජ්ජා සහගත ක්‍රමවේදය මතුව ආවේ එදාය. ඒ දේශපාලනයේත්, දේශපාලකයාගේත්, ලංකාව තුළ දේශපාලනය කිරීමේත් හැටිය. තමන් කරද්දී හොඳය. අනෙකා කරද්දී නරකය.
වත්මන් ආණ්ඩුවටද විපක්ෂයේ සිටියදී හා මැතිවරණයට එද්දී කියූ දේ අමතකව ගොසිනි. ප්රජාතන්ත්රවාදය උදෙසා සටන් කළ ජනතා අයිතිවාසිකම් උදෙසා අරගල කළ එදා විපක්ෂය අද ජනතාවට සලකන්නේද එදා ආණ්ඩුව කළ ලෙසින්මවීම ජනතාවට තම ඡන්ද අයිතියද එපා කරන්නකි. කාගේ හෝ ඉගැන්වීම් බසකට, නොඑසේනම් නොදැනුවත්කමකට හෝ සැබැවින්ම සිදුවන අසාධාරණයකට ජනතාව වීදි බසින්නේ නම් එකී නිදහසට අභියෝග කරන්නට ආණ්ඩුවට නොහැක.
ප්රජාතන්ත්රවාදය තුළ එසේ කිරීම සාධාරණද නැත. හම්බන්තොට සිදුව තිබුණේද එවැන්නකි. නිවැරදි සන්නිවේදනයක් සිදුනොවීමත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් ගෙන ගිය ප්‍රචාරත්, ආණ්ඩුවේ මැතිඇමතිවරු තැනින් තැන කළ එකිනෙකට පරස්පර කතාත් සියල්ලේම ප්‍රතිඵලය වූයේ ජනතාව ගුටු කෑමය.
හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඉදිකරන්නට යෝජිත අක්කර ප්‍රමාණය වෙනුවට ජනතාව අතරට ගොස් තිබුණේ එම ප්‍රමාණය දෙගුණ තෙගුණ වෙමින් බලෙන් අත්පත් කරගනිමින් මෙම ඉදිකිරීම් ඉදිකරන්නට යන බවකි. එහි සත්‍ය හෝ අසත්‍ය වේවා නිසි බලධරයන්ට පැවරුණු වගකීමක් තිබේ. උද්වේගකර තත්ත්වයක් මතුවන්නට පෙර ඒ පිළිබඳව ජනතාවට සමග සාකච්ඡා කරන්නට හෝ වගකිව යුතු නිලධාරියෙකු විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේ නම් මේ තරම් දරුණු ලෙස තත්ත්වය මතුනොවන්නට තිබිණ.
විරෝධතා සංවිධානය පිටු පස කවුරුත් සිටියද අවසානයේ පහරකෑම්වලට ලක්වූයේ සිදුවූයේ කුමක්දැයිවත් සිතා ගත නොහැකි ජනතාවය. පාර්ලිමේන්තුවේ සිදුකරන රඟපෑම් ඔවුන්ට පුරුදු නැත. ඒ පිළිබඳ හසල දැනුමැත්තේ ජනතාව පෙරට යවා තම උවමනාව ඉටුකරගන්න උද්ඝෝෂණ සඳහා ජනතාව පෙළඹවූවෝ අවසානයේ ජනතාවත් ආණ්ඩුවත් අතර ගැටුමක් ඇතිකර සිය අරමුණු, අපේක්ෂාවන් සාක්ෂාත් කර ගෙන තෘප්තියට පත්වුහ.
ආයෝජන ප්‍රවර්ධන කලාපය ඇරඹීමට මුල්ගල් තැබීම සියලු විරෝධතා මධ්‍යයේ වූවද සිදුකරමින් ආණ්ඩුවද සිය අරමුණු දිනා ගත්තේය. එහෙත් අවසානයේ ඉන් පීඩාවට පත්වුයේ ජනතාවය. කඳුළු ගෑස් වැදුනෙත්, ජලප්රහාර වැදුණේත් ජනතාවටය. වැටි වැටී දිවගොස් තුවාල ලැබුවෙත්, හිරේ ගියෙත් ජනතාවය. ජනතාව ඒ සඳහා පෙළඹවූ කිසිවෙකුත් ගුටි කෑවේත් හිරේ ගියේවත් නැත.
ඉතා අඩු ජන ඝනත්වයක් සහිත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව පදිංචිව සිටින්නේ 25% ක් පමණ වන ප්‍රදේශයක. එය හෙක්ටයාර වශයෙන් ගත් කළ 67665කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 262550 ක් පමණ වන අතර, වන ඝනත්වයට වෙන්ව ඇති ප්‍රමාණය හෙක්ටයාර 99625 කි. ප්‍රතිශතයක් ලෙස 38% ක් පමණය.
පොල් හෙක්යාර 13692 ක් පමණද, කුඹුරු 1352ක්ද, තේ 155 ක්ද, රබර් 191.1 ක්ද ලෙස වෙන්ව ඇති අතර, නාගරිකව හෙක්ටයාර 1204 ක් පමණ වෙන්ව තිබේ. ජලයෙන් යටවූ ප්‍රදේශ ලෙස හෙක්ටයාර 11753 ක් පමණ වෙන්ව තිබේ. වෙරළට හා ගල්වැටි වලට හෙක්ටයාර 6052.3 ක් පමණ යටවී තිබේ. ඒ ස්වාභාවික කටයුතු සඳහා වෙන්ව ඇති ඉඩම් ප්‍රමාණයයි.
ඉනික්බිතිව හම්බන්තොට සංවර්ධනය සඳහා පසුගිය රජයෙන් වෙන් කළ ඉඩම් ද ගණනය කළ යුතුය. හම්බන්තොට වරාය සඳහා හෙක්ටයාර 61656 ක් වෙන්කර තිබේ. මුළින් හෙක්ටයාර 856 ක් ලබාගත් අතර, පසුව දෙවැනි අදියර සඳහා තවත් හෙක්ටයාර 800 ක් පවරාගෙන තිබේ. එම ඉඩම් වල තවමත් කිසිදු ව්‍යාපෘතියක් ඉදිවී නොමැති බවද සටහන් කළයුතුය.
එමෙන්ම පසුගිය ආණ්ඩු සමයෙම මත්තල ගුවන්තොටුවලට හෙක්ටයාර 800 ක් ලබාගෙන තිබේ. තවද එම රජය යටතේම කර්මාන්තපුර සඳහා හෙක්යටාර 1200 ක්ද හම්බන්තොටින් වෙන්කරගෙන තිබේ. මේ පවරාගත් ඉඩම් හෝ කරම්නාත්පුර පිළිබඳව වර්තමාන ආණ්ඩුවේ මුල්ගල් තැබීමට එරෙහිව ජනතාව පෙළඹවූ කිඹුල් කඳුළු වලින් ජනතාවාදී වූ බේබිලා දන්නේම නැත.
ආණ්ඩුව කුමක් වූවද ජනතාව උදෙසා කටයුතු කරමින් සමස්ත දිවයිනම සංවර්දනය කිරීම පවතින රජයේ වගකීමක් වෙයි. ඒ අනුව සාමාන්‍ය වශයෙන් ගත් කළ ඒතරම් ඉහල සංවර්ධනයක් සාමාජයීය හෝ ආර්ථිකමය වශයෙන් නොපෙන්වන හම්බන්තොට සංවර්ධනය කිරීම යහපත් කටයුත්තකි.
එහෙත් එය සිදුවෙද්දී හම්බන්තෙට අතිශයින් දුෂ්කර ජනජීවිත තවත් දුෂ්කරතාවට ඇද නොදමා කටයුතු කරන්නට පාලනාධිකාරිය දැනගත යුතුය. නිකරුණේ අත්හැර දමා ඇති ඉඩම් ප්‍රයෝජනයට ගන්නටත්, සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ගැනීමේදී යම් ආකාරයකින් පෞද්ගලික ඉඩම් අත්පත් කරගන්නේ නම් ඒවාට නිසි පරිදි වන්දි දෙන්නටත් කටයුතු කළ යුතුය.
එමෙන්ම තම කාර්යභාරයත් මනා විනිවිදභාවයකින් සිදුකරන්නට ආණ්ඩුව සමත් වන්නේ නම් කිසි කළෙකත් ගැටුම් ඇතිවන්නේ නැත. ජනතාව අතර මතවාද හා ප්‍රචාරයන් ගොඩනැගෙන්නේද නැත. එදා ආණ්ඩුවට වැරදුනේද විනිවිදභාවයක් නොමැතිව කටයුතු කළ හෙයිනි. මෙදා ආණ්ඩුව වරද්දාගන්නේද විනිවිද භාවයක් නොමැතිව කටයුතු කරන්නට යෑමෙන්ය. ජනතාව හා පාලනාධිකාරිය අතර ගැටුම් ඇතිවීමෙන් ඉනික්බිත්තේ හේතු කාරණා දැක්වූවට වැඩක් නැත. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා කුමකටදැයි සිතා බැලිය යුතුය.
හම්බන්තොට ජනජීවිත සංවර්ධනය කරා ගෙනයද්දී කිසියම් හෝ දිනක කර්මාන්තපුර මගින් විශාල සේවයක් සැපයෙනු ඇත. දේශීය ආර්ථිකය ශක්තිමත් වනවා සේම ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයද ඉන් ගොඩනැගෙන දවසක් උදාවනු ඇත. එහෙත් එකී සංවර්ධනයේ මාවත් මහජනතාවගේ ජීවිත පාගාදමා ඒ උඩින් තැනිම නම් අනුමත කළ නොහැක.
අනෙක් අතම හම්බන්තොට වැනි ජෛව පද්ධතියේ ප්‍රධාන කලාපයක් ආශ්‍රිතව කර්මාන්තපුර ඉදිකිරීමේදී ඒවායේ අතුරුඵල හා රසායනික ජෛව විවිධත්වය කෙරෙහි කෙතරම් බලපානු ඇති දැයි පූර්ව තක්සේරු කිරීම් වලින් පසුව එම ප්‍රදේශ ආශ්රිත නිපැයුම් පිළිබඳ එකඟත්වයට පැමිණිය යුතුය. කුමක් නිසාද යත් ස්වභාව ධර්මය වනසා ඉදිකරන භෞතික සංවර්ධනයට ඒතරම් දිගු කාලින පැවැත්මක් නොමැති හෙයිනි.
හම්බන්තොටට කලකට පෙර පෑයු සංවර්ධනයේ හිරු දිනෙක මුදුන්වනු ඇත. සංවර්ධනයේ හිරු එළියෙන් හම්බන්තොටම නහවනු විනා හිරැ රුස් සඟවාලීම හෝ ව්‍යාජයෙන් මුවා කරලීම සිදුනොකළ යුත්තේ හම්බන්තොට ජනතාවද තමන්ටද දිනක හිරු පායනු ඇතැයි අපේක්ෂාවෙන් දෑස් දල්වා බලාහිඳින නිසාවෙනි.
සාකල්යා සඳමාලි
popular news
චමිල සුදර්ශන Tuesday, 26 November 2019 09:57 AM
ඉතාමත් හොද කරුනකි ජයශ්‍රී
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd