සීනි හදන්නට උක් වගා කරන ගොවීන්ගේ හෙට දවස කුමක් වේවිද?
ශ්‍රී ලාංකික ජනතාව සීනි භාවිතයට හුරු වූ වකවානු පිළිබඳ සඳහන් ලිපිලේඛන නැතත්, තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේදී සීනි භාවිත කර තිබෙන බව ලිපිලේඛනවල සඳහන් කර තිබේ. සීනි භාවිතය පිළිබඳ නිවැරදි තොරතුරු නැතත්, අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උක් හකුරු භාවිත කර ඇතැයි ජනප්රවාදයේ සඳහන් වේ. සීනි නිෂ්පාදනයට අවශ්‍ය උක් ගසේ නිජබිම ඉන්දියාව බවට සඳහන් වන අතර, ඇලෙක්සැන්ඩර්ගේ ආක්රමණවලට හවුල් වූ මැසඩෝනියානු සෙබළුන් විසින් ඉන්දියාවේ සිට යුරෝපයට උක්ගස් රැගෙන ගොස් තිබෙන බවද සඳහන් වේ. උක්ගසේ නිජබිම අසල්වාසී ඉන්දියාව වුවද එය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී තිබෙන්නේ ඉතාමත් සීමිත බිම් ප්‍රමාණයක පමණි. මේ නිසා රටට අවශ්‍ය සීනි ප්‍රමාණයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් තවමත් විදේශ රටවලින් ගෙන්වනු ලබයි.
සීනි නිෂ්පාදනය කිරීම අතින් පහළම තත්ත්වයක සිටියද සීනි පරිභෝජනය අතින් ඉහළම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියි. පොදුවේ දියුණු වී සිටින රටවල ඒකපුද්ගල සීනි පරිභෝජනය වර්ෂයකට කිලෝග්‍රෑම් 31 ක් ලෙසට සඳහන් වේ.
එහෙත් ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 33 දක්වා ඉහළ අගයක පවතී.
සමස්තයක් ලෙස වර්ෂයකට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 07 – 08ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ සීනි මෙට්‍රික් ටොන් 60,000කට ආසන්න ප්රමාණයකි. සීනි නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා හතරක් රට තුළ ස්ථාපිත වී තිබුණද මේ වනවිට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. මේ අනුව සීනි නිෂ්පාදනය කිරීමේ කටයුතු සිදු වෙමින් තිබෙන්නේ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ හා පැල්වත්ත හා හිඟුරාන සීනි කර්මාන්ත ශාලා තුළයි.
අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ගල්ඔය සීනි කර්මාන්ත ශාලාව නොහොත් හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මූලික කරගනිමින් ගොවි පවුල් 4000 ක් අක්කර 12,500 ක උක් වගා කටයුතු කරයි.
මොනරාගල දිස්ත්‍රික්කයට අයත් සෙවණගල සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ගොවි පවුල් 4600 ක් විසින් අක්කර දසදහසක උක් වගාකර තිබේ. එම දිස්ත්‍රික්කයේම පිහිටි පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ගොවි පවුල් 14,000 ක් අක්කර 33,000 ක උක් වගා කරති.
රටේ සීනි අවශ්‍යතාවෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් සකස් කරගැනීම සඳහා උක් ලබාදෙන ගොවීන් මේ වනවිට ගැටලු ගණනාවකට මුහුණදී සිටිති.
වැඩි පැණි අස්වැන්නක් ලබාගත හැකි උක් බීජ ලබා නොදීම, අස්වැන්නට නිසි මිලක් ලබානොදීම සහ ආයතනවලින් ලබාදෙන භාණ්ඩ හා සේවාවලට අධික පොලියක් අය කිරීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.
මීට අමතරව නියමිත කාලයේදී අස්වැන්න නෙළීමට කටයුතු නොකිරීම නිසාද උක් වගාකරුවන් අසරණ තත්ත්වයකට පත්ව ඇත.
මේ නිසා තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා පැල්වත්ත හා සෙවණගල උක් ගොවීන් සෙවණගල නගරයේදීත්, හිඟුරාන කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිටින ගොවීන් ගිගුරාන ප්‍රදේශය මූලික කරගනිමිනුත් විරෝධතා ආරම්භ කර ඇත.
උක් වගාවෙන් සීනි සකස් කරන බව කියැවුණද, එහි සැබෑ සත්‍යය වී තිබෙන්නේ උක් වගාවෙන් සීනිවලට වඩා මද්‍යසාර ස්ප්‍රීතු ලබාගැනීමය.
මේ නිසා උක් ටොන් එකකින් සීනි කිලෝ 85 – 90 ත් අතර ප්‍රමාණයක් සකස් කරන බව සඳහන් කර උක් වගාව පාඩු බවට පෙන්වීමට බලධාරීන් උත්සාහ කළද, සෑම මෙට්‍රික් ටොන් එකකින්ම රුපියල් 8000 – 10,000 ත් අතර වටිනාකමකින් යුත් මද්‍යසාර සකස් කරන බවට ප්‍රසිද්ධ නොවූ රහසකි.
මේ නිසා කාලයක් රාජ්‍ය දේපොළ පාලනය කළ මෙරට දේශපාලඥයන් පසුගිය කාලයේදී තමන් සතු කරගෙන සිට පසුව රජයට ලබාගත් සීනි කර්මාන්ත ශාලා නැවත ලබාගැනීම සඳහා බොහෝ උප්පරවැටිට් යොදමින් සිටිති.
මේ සඳහා අවශ්‍ය පසුබිම් සකස් කරමින් තිබෙන අතර, මෙහිදී පාලකයන්ගේ ප්‍රධානම උත්සාහය වී තිබෙන්නේ ආයතන පාඩු ලබන බව සඳහන් කරමින් අදාළ ආයතන පෞද්ගලීකරණය කිරීමය.
පාඩු ලබන ආයතනයක් කිසියම් හෝ පුද්ගලයෙකු ලබාගනීවි යැයි සිතිය හැකිද? මේ අනුව පෙනී යන කාරණය වී තිබෙන්නේ උක් කර්මාන්තය යනු අධික ලාභ ලබන කර්මාන්තයක් බවයි. මේ නිසා බලධාරීන් මුලින්ම සිදුකළ යුත්තේ උක් වගාකරුවන්ට සහන ලබා දී සීනි කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කිරීමටය. සීනි කර්මාන්තය දියුණු කර මද්‍යසාර ස්ප්‍රීතු ලබාගත්තාට කිසිදු ප්‍රශ්නයක් නැත.
මන්දයත් උක් කර්මාන්තයේදී මද්‍යසාර නිෂ්පාදනය නිතැතින්ම සිදුවන නිසාය. එහෙත් මුලින් සිදුවිය යුතු දේ මුලින්ම සිදුකළ යුතුය. එසේ නොමැතිව මෙම කර්මාන්තය කිසිදා දියුණු කිරීමට හැකියාව ලැබෙන්නේ නැත.
'බලධාරීන් සැප විඳිනවා, උක් ගොවියා දුක් විඳිනවා' - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස කැඳවුම්කරු - උක් ගොවි සංගම් එකමුතුව
'රටේ සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 07කට අධිකයි. මෙම ප්‍රමාණයෙන් 08% ක් වගේ ප්‍රමාණයක් තමයි දේශීය උක් ගොවියාගේ අස්වැන්නෙන් ලැබෙන්නේ. සීනි නිෂ්පාදනය අඩු අගයක් ගන්න නිසා රට වටේම උක් වගා කරලා සීනි නිපදවන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. මොකද රටේ ඉඩම් ප්‍රමාණය සීමාසහිතයි. අපි කියන්නේ වහලා දාලා තියෙන කන්තලේ සීනි සමාගම විවෘත කරන්න, ඒ වගේම පැල්වත්ත, සෙවණගල, හිඟුරාන කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදුවන උක් වගාව වැඩිදියුණු කරන්න කියලා. හැබැයි මේ රටේ පාලකයන්ට ඒ ගැන වුවමනාවක් නැහැ. මේ රටේ උක් ගොවියාට කිසිදු අගයක් නැහැ. අස්වැන්නට සාධාරණ මිලක් නැහැ.
මම කියන්නේ නැහැ ආණ්ඩුව සම්පූර්ණ බරම කරට ගන්න ඕන කියලා. උක්වලින් සීනි ලබාගැනීමට අමතරව ඉතාමත් විශාල වටිනාකමක් තියෙන අතුරු නිෂ්පාදන, නිෂ්පාදනය වෙනවා. මේ නිසා උක් කර්මාන්තය තුළින් පාඩු ලබනවා කියන්න බැහැ. මෙම කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදුකරන උක් වගාවට වැඩි පැණි අස්වැන්නක් ලබාගත හැකි උක් ප්‍ර‘භේද හඳුන්වාදීම කරන්න ඕන. ගොවියාට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන. එහෙම වුණොත් රටේ අවශ්‍යතාවෙන් 20% ක සීනි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීමට අපහසුතාවක් නැහැ. ඒත් දැන් වෙන්නේ උක් වගාවෙන් පාලකයන් සහ බලධාරීන් සැප විඳිනවා. හැබැයි උක් ගොවියා නොවිඳිනා දුක් විඳිනවා.
'වගාව තුළම ගොවියා වහලෙක් වෙලා' - කේ.කේ. මුණසිංහ - සභාපති දිගාමඩුල්ල ඒකාබද්ධ උක් ගොවි සුරැකුම් සංවිධානය
'මේ ප්‍රදේශයේ උක් වගා කිරීමට උපයෝගී කරගන්නා සියලුම ඉඩම් රජය සතුයි. මේ නිසා ගොවීන්ට බලහත්කාරකම් කරලා උක් වගා කරනවා. මොකද උක් වගාවෙන් ජීවත්වෙන්න ආදායමක් නැති නිසා ජනතාව උක් වගා කරන්න පෙළඹෙන්නේ නැහැ.
උක් කියන්නේ වාර්ෂික භෝගයක්, මොකද උක් බීජයක් රෝපණය කරලා ඵලදාව ගන්න වසරක් ගත වෙනවා. පවතින ක්‍රම‘වේදයට අනුව වසරක් තුළ උක්ගස නෙළාගන්න ඕන. ඒත් සීනි කොච්චිර රටින් ගෙනාවත්, ජනතාවගේ උක් අස්වැන්න නියමිත දිනට කපාගන්න කර්මාන්ත ශාලා බලධාරීන් කටයුතු කරන්නේ නැහැ.
මොකද අස්වැන්න නෙළිය යුත්තේ බලධාරීන්ගේ අවසරය මත. මේ නිසා හදාගන්න උක්ගස කර්මාන්ත ශාලාවට ලබාදෙන්න මාස 15 – 16 ක් බලාගෙන ඉන්න වෙනවා.
සමාගමෙන් පහසුකම ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි ඒ සඳහා වියදම් කරන මුදලට 18෴ ක පොලී මුදලක් ගෙවන්න ඕන. අස්වැන්න ලබාදුන්නත් මුදල් ලබාගන්නත් මාස දෙක තුනක් බලාගෙන ඉන්න ඕන. ඒ නිසාම උක් වගාව කියන්නේ ඉතාමත් දුෂ්කර කටයුත්තක්.
රටට කොච්චර සීනි අවශ්‍ය වුණත් උක් ගොවියා නගාසිටුවීමට බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. අඩුම තරමින් හොඳ බීජ ටිකක්වත් ලබා දෙන්නෙ නැහැ. මේ නිසා උක් ගොවියා වගාව තුළම වහලෙක් වෙලා. පොලී මුදල්වලට හා අරව මෙව්වා කියලා මුදල් කපාගත්තාම ගොවියාගේ අතට ලැබෙන්නේ සොච්චම් මුදලක්'.
'ඉඩමේ අයිතිය නැහැ' - දීපිකා විතාරණ ආනන්දගම
'1991 වසරේ ඉඳලා අක්කර හතරක උක් වගා කරනවා. 1991 ඉඳලා උක් වගා කළත් මෙතෙක් ඉඩමේ අයිතිය ලැබිලා නැහැ. මේ නිසා උක් වගාව හැර වෙනත් වගාවක් කරන්න අපට හැකියාවක් නැහැ. උක් වගා කළාට වැඩක් නැහැ. මොකද හැමදාම අපි ණයකාරයෝ. උක් වගා කටයුතු කළත් අස්වැන්න නිසි මිලකට ගැනීමට කටයුතු නොකරනවා වගේම නියමිත දිනට උක් අස්වැන්නක් ලබාගන්නෙත් නැහැ.
උක් අස්වැන්න නෙළන්න කියලා කිව්වත් උක්ගස් නෙළුවට පස්සෙ පවා නියමිත ලෙස උක් ගස් ගෙනියන්නේ නැහැ. මේ නිසා උක්ගස් වේළීමකට ලක්වෙනවා. මේ නිසා බර විශාල ලෙස අඩු වෙනවා. මේ දුක විඳින්න බැරි නිසා වෙනත් වගාවක් කරන්න උත්සාහ කළත් ඒ සඳහා අවසර ලබාදෙන්නේ නැහැ.
කන්න පොල් ටිකක් හදාගන්න වැට මායිමේ පොල් ගස් 08ක් හිටෙව්වා. මේකට දඬුවමක් කියලා අපට සමාගමෙන් කෘෂි රසායනික සහ පොහොර ලබාදෙන්නේ නැහැ. පවුලේ දරුවන් දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ දරුවන්ට දෙන්න කිසිම දායාදයක් අපට නැහැ'.
උක් ගොවියන්ට සහන සැලසීම පාලකයන්ගේ වගකීමක් - නාමල් කරුණාරත්න - ජාතික සංවිධායක
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය 'රටේ සීනි අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න කියලා ඌවවෙල්ලස්සේ කැලෑ ඉඩම් අක්කර 62,500ක් විනාශකර දමන්න කටයුතු කරමින් ඉන්නවා. සීනි අවශ්‍යතාව සපුරාගන්න උක් වවන්න කැලෑ විනාශ කරන පාලකයන්ට, සෙවණගල, පැල්වත්ත, හිඟුරාන උක් ගොවියා මුහුණදීලා සිටින ගැටලු පිළිබඳව අවධානයක් නැහැ. ඔවුන් දන්නවා උක් ගොවියා අන්ත අසරණ තත්ත්වයක ඉන්නවා කියලා. හැබැයි ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ පාලකයන්ට එම ගැටලු විසඳීමට උනන්දුවක් නැහැ.
උක් ගොවියා කියන්නේ විශාල කැපකිරීම්, විශාල කාර්යභාරයක් සිදුකරන කෙනෙක්. මොකද වගාවක් සිදුකරලා සුළු හෝ ආදායමක් ලබාගන්න ඔවුන්ට වසරකට වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙනවා. අනිත් එක තමයි අස්වැන්නට ලැබෙන මුදල දැනගන්න ලැබෙන්නේ අස්වැන්න ලබාදීලා මාස ගණනකට පස්සේ. ඒත් අනෙක් වගාකරුවන් මුලින්ම දන්නවා ඔවුන්ගේ අස්වැන්නට කීයක් ලැබෙනවාද කියලා. මේ නිසා උක් ගොවියා සුවිශේෂී කෙනෙක්. ඔවුන්ට පහසුකම් සැපයීම පාලකයන්ගේ වගකීමක්'.
'උක් වගාව නිසා මිනිස්සු අසරණ වෙලා' - ඉන්දික ලක්මාල් - සභාපති - සෙවණගල ගජබා ගොවි සංවිධානය
'සෙවණගල කර්මාන්ත ශාලාව ආශ්රිත ගොවි පවුල් 4600ක් පමණ ඉන්නවා. අක්කර දසදහසක උක් වගා කටයුතු කරනවා. දිනකට සමාගම විසින් උක් ටොන් 1600ක් ඇඹරීමට ලක්කරන්න ඕන. ඒක ඒ අයගේ ඉලක්කයක්. ඒත් පසුගිය කාලයේ ඇඹරීමට ලක් කළේ මෙට්‍රික් ටොන් 600ක් 700ක් වගේ ප්‍රමාණයක්. මේ වගා කන්නයේ ඔවුන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑදහසක්. නමුත් ඇඹරීමට ලක් කරලා තියෙන්නේ දෙලක්ෂ එක්දහසක් පමණයි.
මේ අනුව ගොවිබිම්වල උක් ටොන් 69000කට අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒත් කැපීම මේ වන විට නවත්තලා තියෙන්නේ. අපිත් උක් කපන්නේ තවත් මාස හතරකට පස්සේ කියල කියනවා. එතකොට උක් ගසේ පැණි ගතිය අඩු වෙනවා. මෙහි පාඩුව ගොවීන්ට විඳ දරාගන්න වෙනවා. මොකද කවදා උක් කැපුවත් ගොවීන්ට වියදම් කරපු මුදල වගේම ඊට අදාළ මුදලත් ගොවියා ගෙවන්න වෙනවා. ඒ වගේම මාස 15ක් 16ක් භූමියේ උක් තියෙන නිසා ඊළඟ වගා කන්නය ආරම්භ කරන්න වෙන්නේ කල්ගත වෙලා. උක් වගාව කියන්නේ මේ පැත්තේ ජනතාවගේ ජීවිතය. ඒත් අද උක් වගාව නිසාම අන්ත අසරණ වෙලා ඉන්නේ'.
'ගොවියන්ට උක් වගාව තිත්ත වෙලා තියෙන්නේ' - බන්දුල පෙරේරා - වාසනාගම
'මේ පැත්තේ ජනතාව දුක් මහන්සියෙන් උක් වගා කරනවා. අන්තිමට අස්වැන්න කුණුකොල්ලයට අරගන්නවා. උක් කර්මාන්තය කියන්නේ ආරම්භයේදී හොඳ වගාවක් ලෙස තමයි මම දැක්කේ. නමුත් සීනි කර්මාන්ත ශාලාවේ අකාර්යක්ෂමතාව හා දේශපාලඥයන්ගේ දුර්වලතාව නිසා මෙම කාර්මාන්තයට මළගම උදාවෙලා තියෙනවා. සෙවණගල කර්මාන්ත ශාලාවේ මැදිහත් වීමෙන් සිදුකරන බිම් සකස් කිරීමේ කටයුත්තේ ඉඳලා ඉහළට යම් යම් අක්‍රමිකතා සිදුවෙනවා. අක්රමිකතාවන්ට අමතරව ගොවියන්ගෙන් අධික පොලියක් අයකර ගන්නවා. මොකද සමාගම විසින් බිම සකස් කිරීමට, බීජ ලබාදීමට, පොහොර දෙන්න මැදිහත් වෙනවා. නමුත් මේ සඳහා අධික පොලියක් අයකර ගැනීම නිසා ගොවීන් අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්නේ.
මෙම සමාගමේ සිදුවන වංචා ක්‍රියාවන් පිළිබඳව හෙළි කළා. අන්තිමට මගේ උක් වගාවේ අස්වැන්න මිලදී ගත්තේ නැහැ. අක්කර හතරක උක් වගා කළා. ඔවුන්ගේ මැෂින් දාලා අක්කර දෙකක් විතර විනාශ වුණා. අනෙක් අක්කර දෙකේ උක් අස්වැන්න මිලදී ගත්තෙ නැහැ. මේ නිසා මට විශාල ආර්ථික පාඩුවක් වෙලා තියෙනවා. අන්තිමට මම මහ පාරට වැටුණා. සෙවණගල මට විතරක් නෙවෙයි, මේ පැත්තෙ හැම ගොවියෙකුටම උක් වගාව තිත්ත වෙලා තියෙන්නේ'.
'උක් ටොන් එකකට රුපියල් 8500ක් වත් ඕන'- ප්‍රියල් ශාන්ත - සෙවණගල උතුර
'උක් ගොවියාගේ අස්වැන්නට හොඳ මිලක් නොලැබීම උක් කර්මාන්තයේ තියෙන ප්‍රධානම ගැටලුවක්. මොකද උක් ටොන් එකක් සකස් කරගන්න රුපියල් 6000-7000 අතර මුදලක් වියදම් වෙනවා. ඒත් දැනට ගෙවන්නේ රුපියල් 5000ක වගේ මිලක්. නමුත් හැම ගොවියෙකුටම එම මුදල ලැබෙන්නෙත් නැහැ. මොකද උක් මිලදී ගැනීමේදී උක් ගසේ කොළයි, ගොබයි බලලා ශ්‍රේණිගත කිරීම් කරනවා. මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුපියල් 5000 සිට පහළටයි ගෙවන්නේ.
උක් ගොවියාට සුළු හෝ සහනයක් ලැබෙන්න නම් උක් ටොන් එකකට රුපියල් 8500ක් වත් ලබාදෙන්න ඕන. ඒ වගේම සමාගමෙන් වියදම් කරන මුදල්වලට අයකරන අධික පොලී මුදල පහළ දමන්න ඕන. මීට අමතරව නියමිත දිනට උක් ලබාගැනීම සිදුකරන්න ඕන. මොකද දැන් සිදුවෙන්නේ සමාගමට ඕන දවසට උක් කපන එක. නියමිත කාලය පහුවෙන්න පහුවෙන්න පැණි ගතිය අඩුවෙනවා. පැණි අඩු වුණාම අස්වැන්නට ගෙවන ගාණ ඉතාමත් අඩුයි.
පොලිය ගණන් හදන්නේ පොහොර සහනාධාරයට අත්සන් කළ දා සිට. පොලී මුදල 12%යි'.
'උක් ගොවියා වහලෙක් වෙලා'- එස්.පී. සිරිසේන - කැඳවුම්කරු ඌව පැල්වත්ත උක් වගාකරුවන්ගේ සංගමය
'පැල්වත්ත සමාගම යටතේ වගා කළ උක් වගාකරුවන්ගේ අස්වැන්න නෙළීම මේ වන විට නතර කරලා තියෙන්නේ. නැවත අස්වැන්න ලබාගන්න දිනයක් ගැන සඳහනක් නැහැ.
අස්වැන්න නෙළන කාලයට ඕනෑම තරමක් උක් ගන්නවා කියලා බලධාරීන් කියනවා. හැබැයි කපන උක් ගස් ටික ගෙනියන්න දවස් ගණන් ගතවෙනවා. උක් ටොන් එකක් කපන්න රුපියල් 1600-1800ත් අතර මුදලක් වියදම් වෙනවා. උක් ටොන් එකක ගැනුම් මිල උපරිමය රුපියල් 5000යි. එතකොට ගොවියාගේ නමට ඉතුරු වෙන්නේ රුපියල් 3000ක් වගේ මුදලක්. මෙම මුදල, බිම් සකස් කිරීමට හා කෘෂි රසායනවලට, පොහොරවලට කපලා ඒකට පොලියත් හදලා ඒ මුදලත් අයකර ගන්නවා.
අනිත් එක තමයි මාස 15ක් 16ක් ගතවන උක් ගස් කපාගන්න භූමියට ගිනි තියන්න වෙනවා. දින තුනක් ඇතුළත ඒ උක් ගස් ලබාදෙන්න ඕන. මේ ආකාරයට ගන්න උක් ටොන් එකකට රුපියල් 550ක ගිනි දඩයක් ගහනවා. හැබැයි ගිනි තියලා අස්වැන්න නෙළන්න වෙන්නේ සමාගමේ වරදින්. ඒ වගේම පැල්වත්ත ජනතාවටත් ඉඩමේ අයිතිය නැහැ. මේ නිසා උක් වගාව එපා වුණත් වෙනත් වගා කරන්න අවසරයක් නැහැ. ඒක හරියට උක් වගා භූමියට ගොවියා බැඳ තබා තිබෙන වහලෙක් වගේ*.
'සෙවණගලයි, පැල්වත්තයි විකුණා දැමීමට සැලසුම් කරලා තියෙන්නේ' - වසන්ත සමරසිංහ - සභාපති අන්තර් සමාගම් සේවක සංගමය
'රාජ්‍ය ආයතන විකුණා දැමීමට කුමන්ත්‍රණය කරන ආණ්ඩුව පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්ත ආයතන දෙකම විකුණා දමන්න සැලසුම් හදලා තියෙන්නේ. එම සැලසුම ක්‍රියාත්මක කරගන්න උක් ගොවියාට සාධාරණ මිලක් දෙන්නේ නැහැ. ඒ වගේම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව ඒ ආකාරයටම පවත්වාගෙන යන්නේ නැහැ. මෙහෙම කරලා උක් ගොවියා මේ වන විට පාරට වට්ටලා තියෙන්නේ. හෙට දවස වෙනකොට කර්මාන්ත ශාලා දෙකේ සේවකයිනුත් පාරට වැටේවි. මොකද මේවා පෞද්ගලීකරණය කළ ගමන් සේවකයන් ගැන ඔවුන් සිතන්නේ නැහැ.
සීනි කියන්නේ හැමදාම ඕන දෙයක්. ඒක නිසා සීනි කාර්මාන්තය පාඩුයි කියලා කාටවත් කියන්න බැහැ. උක් ටොන් එකකින් සීනි නිෂ්පාදනය කරනවාට වඩා අතුරු නිෂ්පාදන සිදුකර ගන්නවා. මේ නිසා සිදුකළ යුත්තේ කර්මාන්තය විධිමත් ලෙස කළමනාකරණය කරලා පවත්වාගෙන යන වැඩපිළිවෙළක් සකස් කිරීමයි. දැන් වෙලා තියෙන්නේ මෙම ආයතනවල ඉහළ කළමනාකාරීත්වයට විශාල මුදලක් ගෙවලා දේශපාලන හිතවතුන් බඳවා ගත්තත් මේක දියුණු කරන්න දේශපාලඥයන්ට උනන්දුවක් නැතිකම. කොහොම වුනත් මෙම ආයතන දෙක විකුණා දැමීමට ඉඩ ලබාදෙන්නේ නැහැ. ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව සේවකයන් මේ වන විට උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරලා තියෙන්නේ*.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




