ජීවිතයේ සතුට උදෙසා එසේත් නැතිනම් විවේකය ගතකිරීමට බොහෝදෙනා විනෝදාංශ වෙත නැඹුරු වී සිටිති. ඒ අතර මුලින් විනෝදාංශයක් ලෙස ආරම්භ කර, පසුව එය තම ජීවිතය බවට පත් කරගත් විනෝදාංශකරුවෝද බොහෝය. කඳු නැගීම්, පිහිනීම්, ඔරු පැදීම්, බාධක පසුකිරීම, මෝටර් රේසිං, පාපැදි ධාවන හා සංචාරය ආදිය ඉන් කිහිපයකි. ඒ අතර යතුරුපැදියකින් ලෝකය පුරා සංචාරයේ යෙදීම විනෝදාංශයක් කරගත් කණ්ඩායම් සිටින බව ඔබ දන්නවාද?
සංචාරයේ කරන මැදපෙරදිග කලාපයේ හාර්ලි ඩේවිඩ්සන් යතුරුපැදි හිමිකරුවන් කණ්ඩායමක් තමන්ගේ සුපිරි යතුරුපැදි සමගින් ශ්‍රී ලංකා සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටිති.
ශ්‍රී ලංකා හාර්ලි රයිඩ් හාර්ලි ස්ට්‍රීට් තන්ඩර් 2014 ලෙස මෙය නම් කර ඇති අතර, ඔවුන් දින 09ක් පුරාවට කිලෝමීටර් 1600 ක් ආවරණය කරමින් ලංකාව පුරා සංචාරය කිරීමට නියමිතය.
ඒ යන ගමනේ රට තුළ සොබාදහම, භූලක්ෂණ, කාලගුණය, සංස්කෘතිය මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාව පිළිබඳ දැනුවත්කමක් ලබාගැනීමට මෙන්ම සංචාරයේදී සුපිරි අත්දැකීම් විඳ ගැනීමටද නියමිතය.
පසුගිය 08 වෙනිදා මෙම යතුරුපැදි සංචාරකයින් කොළඹට පැමිණි අතර, එදින ඔවුන් කොළඹ නගරයේ සංචාරයක යෙදුණි. සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවෙන් පසුව ඔවුන් තම ශ්‍රී ලංකා සංචාරය අරඹන ලදී.
ඔවුන්ගේ සංචාරක ගමන් මග මෙසේය. කොළඹ සිට ඉඹුල්ගොඩ, කජුගම, පින්නවල හරහා මහනුවරට පැමිණ, මහනුවර නගරයේ රාත්‍රිය ගත කර ඒ-09 මාර්ගය ඔස්සේ අනුරාධපුරය දක්වා ගොස් එහි ඵෙතිහාසික ස්ථාන නැරඹීමෙන් අනතුරුව හඹරණ බලා පිටත්වේ. පසුව හබරණ සිට ගම්පොළ හරහා නුවරඑළිය දක්වා සංචාරයේ නිරතවීමට නියමිතය. එයින් අනතුරුව ගිනිගත්හේන, කිතුල්ගල, යටියන්තොට, රත්නපුර, පැල්මඩුල්ල හරහා උඩවලව වෙත පැමිණීමට නියමිත අතර, එදින රාත්‍රියේ උඩවලව සෆාරි උද්‍යානයක රාත්‍රිය ගතකිරීමට නියමිතය.
උඩවලව වනෝද්‍යානයේ සංචාරයෙන් අනතුරුව දකුණු වෙරළ තීරය බලා සංචාරයේ නිරතවීමට නියමිත අතර, උණවටුන, බෙන්තොට ආදී ස්ථාන වල නවාතැන් ගැනීමටත්, ගාලු නගරය පුරා සංචාරයේ යෙදීමටත් නියමිතය.
ඔවුන්ගේ සංචාරයේ අවසන් දිනය වන්නේ මේ මස 15 වැනිදාය. එදින මෙම සංචාරක ධාවකයින් බෙන්තොට සිට ගල්කිස්ස දක්වා ධාවනයේ යෙදෙන අතර, එදින ගල්කිස්ස මහ හෝටලයේ වෙරළ තීරයේදී පැවැත්වෙන හාර්ලි ඩේවිඩ්සන් ස්ට්‍රීට් තන්ඩර් ශ්‍රී ලංකා 2014 බීච් පාර්ටි නම් වූ සාදයෙන් සංචාරය හමාර කිරීමට නියමිතය.
මෙම දින කිහිපය පුරාවට ශ්‍රී ලංකාව වටා සංචාරය කරන මෙම සංචාරක පිරිස ඔබ ප්‍රදේශයටද පැමිණෙන විට ඔවුන් සමග විනෝදවීමට ඔබටද අවස්ථාව ඇත. යතුරුපැදිය තම දිවියේ එකම සම්පත බවට පත්කරගත් මොවුන් විනෝදාංශයක් ලෙස ආරම්භ කළ යතුරුපැදි ධාවනය මේ වනවිට ඔවුන්ගේ ජීවන අංගයක් බවට පත්ව තිබේ.