ස්වශක්තිෙයන් නැගී සිටින යාපනේ කතුන්ගේ පැසසිය යුතු ජීවන රටාව
සමාජයේ විවිධ තලයන්වල කාන්තාව නිරූපණය කරන භූමිකාව එකිෙනකට වෙනස් වන අතර ඇය; විටෙක දරුවෙකුට සෙනහස දක්වන්නා වූ මවකි, තවත් විටෙක ස්වාමියාට සෙනෙහස දක්වන ආදරණීය බිරිඳකි, දියණියකි, නැගණියකි.
මේ සියලුම දෑ පසෙක තැබූ විට ඇයගෙන් ලාංකේය ආර්ථිකය ඔසවා තබන්නට ලැබෙන්නේ මහත් වූ පිටිවහලකි. සංස්කෘතිය, සමාජය, දේශපානය, ආර්ථිකය සහ ආගමික යනාදී නොයෙක් ක්ෂේත්රයන් තුළින් විවිධ මුහුණුවරින් නිරූපණය වන ඇය සිදුකරනුයේ නිහඬ සමාජ මෙහෙවරකි.
ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල වෙසෙන කාන්තාවන්ට වඩා උතුරුකරයේ කාන්තාවන් ශක්තිමත් යැයි පැවසීම නිවැරදිය. තිස්වසරක යුද්ධයෙන් බැටකා ඔවුන් සිටියේ හෙම්බත්වය. ස්වාමිපුරුෂයන් යුද්ධයෙන් පසු නොයෙක් ලෙස අාබාධිත තත්ත්වයන්ට ලක්වීම හෝ මියයෑම නිසා පවුලේ ආර්ථිකය කරට ගැනීමට සිදුවූයේ ඇයටය. එම නිසා උතුරේ ආර්ථිකයට ඇය ශක්තියක් එක් කරන්නේ වෙහෙස මහන්සියෙනි. එම නිසා එම ප්‍රදේශවල කෘෂි වගාවේ බහුලව නියුතු වන්නේ කාන්තාවන් වීම සුලභ දෙයක් වී තිබේ. ලූනු, දුම්කොළ, ගෝවා, කෙසෙල්, අමුමිරිස් ආදී සෑම දෙයක්ම ඔවුන් වගා කරන්නේ මහපොළොව හා හරි හරියට ඔට්ටු වෙමිනි.
අල්පේච්ඡ ජීවිතයක් ගෙවන උතුරේ වැසියන්ගේ දියුණුවට හෝ දෛනික ජීවිකාව සරිකර ගැනීමට කාන්තාව අනිවාර්යය සහභාගිත්වයක් දක්වයි. රජයේ රැකියාවක් හෝ ස්ථිර රැකියාවක් නොකළත් ඇය උපයන්ට හෝ අරපිරිමැස්මෙන් කටයුතු කරන්නට හරිම දක්ෂය.
ඔවුන්ට ඇතැම් විට එකී ගුණය ඒ හා බැඳි සංස්කෘතියෙන්ම උරුම වූවක් ලෙස සිතිය හැකිය. උතුරේ විවාහයකදී මනමාල පාර්ශ්වය විවාහ වන තරුණියගෙන් අනිවාර්යයෙන් දෑවැද්දක් අපේක්ෂා කරයි. එම නිසා යාපනයේ ගැහැනු දරුවෙකු ඉපදුණහොත් ඇයගේ ඉදිරි විවාහ කටයුතු සඳහා දෙමවුපියන් දැවෑද්දක් එකතු කිරීම අනිවාර්යය දෙයකි. එය ඇතැම් විට රත්තරන්වලින් විය හැකිය. තවත් විට මිල මුදල්වලින් විය හැකිය. මේ නිසා යාපනයේ සිදුවන්නේ බොහෝ විට යෝජිත විවාහයන්ය. ආදර සම්බන්ධතාවයකින් යම් යුවළකගේ විවාහයක් සිදුවූවද මනමාල පාර්ශ්වය තරුණියගේ පාර්ශ්වයෙන් දැවෑද්දක් ගෙන ඒමට තරුණයා පිටත් කර යවයි.
මේ නිසා උතුරුකරයේ ගෘහ සංස්කෘතිය තුළටද එය එෙලසින්ම බලපා තිබේ. ලංකාවේ අනෙක් ප්‍රදේශවලට වඩා එකී ක්‍රමය තරමක් වෙනස්ය. සිය කුටුම්භය තුළ සිදුවන සෑම ක්‍රියාවක් පිළිබඳවම ඇය සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරයි. තාක්ෂණය කෙතරම් තිබුණත් යාපනයේ සෑම නිවෙසකම ගෙදරදොර භාවිතය සඳහා ජලය ලබාගැනීමට අනිවාර්යයෙන් ළිඳක් තිබීම දැකගත හැකිය. ආහාර පිළියෙල කිරීම සඳහා යොදා ගන්නා කුළුබඩු වර්ග වූවද බොහෝ විට සකස් කරන්නේ ඔවුන් විසින්මය. ඒ නිසා ශරීර සෞඛ්‍යයට අහිතකර අන්දමින් ආහාර ගැනීමේ රටාවක් යාපනය තුළ දැකගත නොහැකිය. ඔවුන්ට ආවේණික වූ නොයෙක් කෑම වර්ගවලින් ආහාර වේල සකස් කරගන්නා ඔවුන් රෝගී වන්නේ හෝ ශරීරයෙන් දුර්වල වන්නේ ඉතාම අඩුවෙනි. ඔවුන් අවන්හලකින් හෝ පිටත පිහිටි වෙනයම් ස්ථානයකින් ආහාර ගන්නේ නම් ඒ ඉතාම කලාතුරකිනි.
ගෘහයේදී දරුවන්ට, ස්වාමියාට ඉටුවිය යුතු යුතුකම් කොටස මැනවින් ඉටු කරන උතුරේ කාන්තාව කාලය නිකරුණේ ගෙවා දැමීමට කිසිසේත් ප්රියයක් නොදක්වයි. මෙය පිරිමියා සතු රාජකාරියක් හෝ මෙය ගැහැනිය නොකළ යුතු දෙයක් යැයි කිසිවිටෙකත් නොසිතන ඇය පවුලේ ආර්ථිකයටද සහයෝගයක් දක්වයි. කොපමණ මිල මුදල් තිබුණත් තම ඉඩමේ පොල් ගසෙන් වැටෙන පොල් අත්ත පවා ප්‍රයෝජනයට ගැනීමට ඇය කටයුතු කරයි. මෙය උතුරේ කාන්තාවන්ට සහජයෙන් ලැබෙන කාර්යශූරත්වයක් ලෙසද අපට හඳුනාගත හැකිය. අප දකුණේ පොල් ගසෙන් බොහෝ දේ නිෂ්පාදනය කරන්නා සේම ඇයද තල් ගසේ මුලේ සිට කොළය දක්වා සෑම දෙයක්ම රැගෙන නොයෙක් නිෂ්පාදනයන් සිදුකරයි. එය අපට කදිම ආදර්ශයකි. ස්වදේශීය දෙයකින් හෝ අපතේ යන දෙයකින් ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන ලෙස ඒ ඒ දේවල් සකස් කිරීමට අප මැළිකමක් දක්වන්නෙමු. අප සෑම විටම පිසීමට ගන්නා පලා කොළය පවා කපා මිලදී ගැනීමට හැකි නම් එය අගේ කොට සලකයි. අවුරුද්දට පවා කැවිලි වර්ග සකස් නොකර එය මිලදී ගැනීමට යොමු වන්නේ ඒ ආකල්පයත් සමගිනි. මේ නිසා අනාගතයේදී අපේ සංස්කෘතික ආහාරපාන වියැකී යනවා මෙන්ම ඉදිරියේදී චීන ආහාරපාන මුළුමනින්ම අපගේ ආහාර රටාව ආක්‍රමණය කරනවා නිසැකය.
යුද්ධයෙන් පසුව විවිධ සමුපකාර සමිති හෝ රජයේ විවිධ වැඩසටහන් මගින් උතුරේ කාන්තාවන්ට ස්වයං රැකියා සඳහා විවිධ උපදේශන පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි. ඒ මගින් තල් කොළයෙන් අපූරු වූ රටා මවමින් අත්බෑග්, වට්ටි, කූඩ, නොයෙක් ඇසුරුම් පෙට්ටි ආදී දේ අලංකාරවත්ව නිපදවා නිවසේ ආර්ථිකයට ඇයත් සහයෝගයක් දක්වයි. නමුත් අදටත් ගෘහණියක් ලෙසින් නිවසේ වැඩකටයුතු පමණක් සිදුකරමින් නිකරුණේ රූපවාහිනිය අබියස කාලය කාදමන ගෘහණියන් කීදෙනෙකු සිටිනවා විය හැකිද. ඔවුන් සිය දෛනික ජීවිතය ගැන සිතනවා මිසක් ඉදිරියක් ගැන නොසිතයි. නමුත් උතුරේ කාන්තාව සෑම විටම ඉදිරි කාලයේ දුෂ්කර වූවද, සතුටුදායක වූවද කුමක් පැමිණියත් ඒ සියල්ලටම සූදානමින් සිටියි.
එමෙන්ම යාපනයේ බොහෝ ගෘහණියන් තමන්ගේම කියා ස්වයං රැකියාවක් නැති නම් කුමන හෝ රැකියාවක නියුතු වේ. යාපනයේ කෘෂි ආර්ථිකය තුළ නියැළෙන යාපනයේ කාන්තාව නිවසේ වැඩකටයුතු අවසන් කර උදෑසන 9.00 පමණ වන විට ගොවිබිම් කරා ඇදී එයි. ඔවුන් මහපොළොවත් සමග ඔට්ටු වෙමින් හරි හරියට වගා කටයුතු කරයි. නැවතත් දිවා ආහාරය සකස් කරන්නට යන ඔවුන් එය පිළියෙල කර නැවත පැමිණ සවස් වන තුරු නැවතත් ගොවිබිම්වල කටයුතු කරයි. මේ ආකාරයෙන් ගෙවන යාපනයේ කාන්තාවගේ ජීවිතයේ අපතේ යෑවීමට කිසිම කාලයක් ඉතිරි වී නොමැත. පශ්චාත් යුද සමයෙන් පසුව උතුරේ සංවර්ධනයට කාන්තාවගෙන් ලැබෙන්නේ මහත් අස්වැසිල්ලකි. ඇය මේ සියල්ල දරාගෙන සිටිනවා යැයි කිවහොත් නිවැරදිය. දැන් දැන් උතුරේ සංචාරය කරන ඕනෑම කෙනෙකුට එකී පරිවර්තනීය වෙනස සැබැවින්ම දැකගත හැකිය.
මවක වශයෙන් යාපනයේ කාන්තාව තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමට වෙහෙස මහන්සි වේ. යාපනයේ කුමන තරාතිරමක හෝ කුමන ආදායම් මට්ටමක සිටියත් ඒ සියලු දෙනා තම දුවා දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට මැළි කරන්නේ නැත. ඔවුන් අධ්‍යාපනය දකින්නේ ඔවුන්ට ඉදිරියට යාහැකි ප්‍රධාන දොරටුවක් ලෙසය. එනිසා කුලීවැඩ කර හම්බ කරනා සොච්චමෙන් වුවද සිය දරුවන්ට අධ්‍යාපනයක් උදා කර දෙන්නට ඔවුන් කටයුතු කරයි.
මෙය ඇත්ත වශයෙන්ම අප අගේ කළ යුතු දෙයකි. උතුරේ කාන්තාව විඳ ඇති දුක හා පීඩාව අපි හඳුනන නමුත් ඔවුන්ගේ ශක්තිය පිළිබඳ නියමාකාර අවබෝධයක් අපට නොමැත. අද ‘ලාංකේය සමාජයේ බහුතරයක් කාන්තාවන්ට ඔවුන් කදිම ආදර්ශයකි. අරපිරිමැස්ම ගැන හොඳින්ම දැන හැඳින ගත හැක්කේ ඔවුන්ගෙනි. ඔවුන්ගෙන් ඇතැම්හු කොතරම් මිල මුදල් තිබුණත් ඒවා වියදම් කිරීමේදී ඉතා පරිස්සම් වෙති. යාපනයේ කාන්තාවන් රන් ආභරණවලට ප්රියයක් දක්වයි. දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියල්ලන්ම රන් ආභරණ පලඳිති. නමුත් ජීවිතයේ දුෂ්කර කාලවලදී ඒවා බැංකුවල තබා එම අවශ්‍යතා ඉටුකර ගැනීම උතුරේ ග්‍රාමීය කාන්තාවන් බහුතරයක් විසින් සිදුකරනු ලබයි. ණය වැනි දේවලට ඔවුන් පෙළඹෙන්නේ ඉතා සුළු වශයෙනි. ස්වශක්තියෙන් නැගීසිටින්නට ඔවුන් මහත් වෙහෙසක් දරයි. ඔවුන් ඇඳුමෙන් වුවද යම් කලාවක් නිර්මාණය කරයි.
ඔවුන්ට ඇත්තේ අල්පෙච්ඡ ජීවිත බැවින් ඔවුන් දෛනික ජීවිතය ගතකරනුයේ ඉතා සරලවය. කාර්යබහුල වූවත් කුටුම්භයේ සතුට ගැන ඔවුන් නිරන්තරයෙන් සැලකිලිමත් වේ. ස්ත්‍රිය මූලික කරගත් ජන ජීවිතයක් උතුරේ ගොඩනැගී ඇත්තේ එබැවිනි.
ඒ නිසා පවුල් සංස්ථාව තුළ ඇති වන ගැටුම් හා කාන්තාවන්ට ගෘහස්ථ වශයෙන් සිදුවන පීඩාකාරී තත්ත්වයන් අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව යාපනයේ වාර්තා වන්නේ ඉතා අඩු වශයෙනි. නිවසේ සිටින ගෘහණිය මේ සියල්ල මැනවින් කළමනාකරණය කරන බැවින් අනවශ්‍ය ගැටුම් අවම කිරීමට ඇයට හැකිවේ.
ඒ නිසා යාපනයේ කාන්තාව සතු ශක්තිය හා ළෙන්ගතුකම ප්රබලය. උතුරේ ජනයා කාන්තාව කිසිවිටෙකත් පහත් කොට නොසලකයි. කාන්තාවට හිමි නිසි ගෞරවය ඔවුන්ගෙන් හිමි වේ. ඇතැම් විට එසේ හිංසනික ක්‍රියා වාර්තා වන්නේ නම් එසේ සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. කාන්තා හිංසනය දිනෙන් දින වැඩි වන, කාන්තා අයිතීන් දිනෙන් උල්ලංඝනය වන සමාජයක උතුරේ කාන්තාවන් එයින් මිදී ශක්තිමත් ආර්ථිකයට, පිරිමැසුම්කාරී ජීවන රටාවකට යොමු වීම ඉතා අගේ කළ යුතු දෙයකි. යුද්ධය අවසන් වී ගතවූයේ වසර කිහිපයක් පමණි. මේ වසර තුළ උතුරේ කාන්තාව පැමිණි ගමන් මග ගැන අප අගේ කළ යුතුය. තව තවත් ස්වශක්තියෙන් නැගීසිටීමට අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශකත්වය ඔවුන්ට ලබාදිය යුතුය. එවිට තවත් දස වසරකින් උතුරේ ආර්ථිකය, ජන ජීවිතය ස්වයංපෝෂිත වනවා නොඅනුමානය.
ෂෙහානි දිල්රුක්ෂිකා / ඡායාරූප - සරසි නෙත්මිණි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





