අප්‍රේල් මාසය හෙවත් බක් මාසය යනු සෞභාග්‍යයේ මාසයයි. එය ශ්‍රී ලංකාවාසී සියලු ජනයාගේ සතුට හා ප්‍රීතිය ගොඩනැගෙන සමයයි. කෘෂිකර්මාන්තය මුල් කරගෙන දිවිගෙවන ගොවියෝ මහ කන්නයේ අස්වනු කපා, පාගා, ගෙට ගෙන යළි කුඹුරු වැපිරීම ආරම්භ කරන්නේ මේ කාලයේදීය. තවද පරිසරය ගහකොළ, මල් ඵලවලින් බරවන්නේද, සිවුපා සතුන් හා විහඟුන් ඵල රස උරා බොමින් ප්‍රීතිවන්නේද මේ සමයේදීය. කලක් නිහඬව සිටි කොවුලෝ අවුරුදු ප්‍රීතිය හඬ නඟා පරිසරය පුරාවටම සන්නිවේදනය කරමින් අව්‍යාජ කෘෂි ජනතාව සමගින් එක්ව බක් මස අස්වනු ලැබීමේ ප්‍රීතිය භුක්ති විඳීමට මුලපුරති. ඒ සමගින් ලංකාවාසීහු නව අවුරුදු චාරිත්රවලටද ඉඩහසර ලබාගනිති.
එපරිද්දෙන්ම ජපානය තුළද සීත සෘතුවේදී පත්‍ර හළා සීතලට ගුලි වී සිටි ගහකොළ නව උප්පත්තියක් ලද්දා සේ මල් ඵලවලින් බරවන්නට පටන්ගන්නේ මේ සමයේදීය. ජපානයටම ආවේණික සුන්දරත්වයක් ගෙනෙන සකුරා මල් හෙවත් චෙරි මලින් සකුරා දේශය පිරී යන්නේ මේ කාලයේය. විශේෂයෙන්ම මාර්තු මස අවසන් දින කිහිපය සහ අප්‍රේල් මස ප්‍රථම දින කිහිපය තුළ ජපානය සකුරා මලින් වැසී යන්නේය. මෙකල ජපානයේ සෑම දිග්බාගයකම බැලු බැලු අත විවිධ වර්ණයන්ගෙන් පීරි ඉතිරී ගිය සකුරා මල් සොබාදහම සමග රංගනයේ යෙදීම සුලබ දසුනකි. එය වසන්ත සමයේදී අපේ රටේ එරබදු ගස් රතු පාට මලින් පිරී යන්නා සේය. අද වනවිට ලංකාව තුළ නම් එරබදු මල් දැකගැනීම තරමක් උගහටය.
ශ්‍රී ලංකාවාසී අප බක් මාසයේදී සතුට හා ප්‍රීතිය භුක්ති විඳින්නේ යම් සේද ජපන් ජාතිකයන්, ජපානයේ වෙසෙන සෙසු ජාතිකයන් මෙන්ම මේ කාලය තුළදී ජපානයේ සංචාරය කරන විදේශිකයෝද සතුට හා ප්‍රීතිය නොඅඩුව භුක්ති විඳිති.ජපානය තුළ සකුරා මල් පිපෙන කාලයන් ඒ ඒ පළාත් අනුව සුළු සුළු වශයෙන් වෙනස් වුවද, සමස්තයක් ලෙස ගත්කල මාර්තු අග සහ අප්‍රේල් මුල් දින කිහිපය තුළ සකුරා මල් සුලබ දසුනකි. ජපානයේ ඒ ඒ පළාත්වල ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් සකුරා උත්සව සංවිධානය කරනු ලබන අතර, ටෝකියෝවේ ප්‍රධාන සකුරා උත්සවය පවත්වනු ලබන්නේ උයනෝ උද්‍යානය කේන්ද්‍ර කරගනිමිනි. උයනෝ උද්‍යානයේ පමණක් සකුරා තුරුලතා 800කට ආසන්න ප්‍රමාණයක් ඇති බවද වාර්තා වේ.
ජපානයට මෙන්ම ජපන් ජාතිකයන්ටද ජපානය තුළ පිපෙන දහසකුත් මල් අතරින් සකුරා මල් සුවිශේෂී වේ. ඒ සකුරා මල් වසන්ත සමය සංකේතවත් කරනු ලබන බැවිනි. තවද සකුරා ගසක් මිදුලේ සිටුවාගැනීමෙන් පසු එහි මල් පීදීම සෞභාග්‍යයේ ලකුණක් ලෙස ජපන්නු සලකති. ජපන් ජාතිකයන්ගේ ජීවිතවල මෙන්ම අවට පරිසරයේද වෙනස්කම් සිදුවන්නට පටන්ගන්නේ මේ කාලයේදීය. එහෙත් සකුරා මල්වල ආයු කාලය ඉතාමත් කෙටිය. සීත සෘතුවේදී සීතලට ගුලි වී සිටි සකුරා තුරුලතා වසන්ත සමය සංකේතවත් කරමින් පෙති විහිදා මල් පූදින්නට පටන්ගත්තද, සති දෙකක් වැනි කෙටි කාළයක් තුළදී සකුරා මල් අතු අගින් බැස නොපෙනී යන්නේය. සකුරා මල් සම්පූර්ණයෙන්ම විකසිත වූ පසු සොබාදහමේ නියමයන්ට අනුව මඳ වැස්සක් පතිත වන අතර, ඉන් අනතුරුව සකුරා මල්වල පෙති හැළෙන්නට පටන් ගනියි. සකුරා මල් විකසිතව පැවැති අතු අග පත්‍ර වැඩෙන්නට ආරම්භ වන්නේ පෙති හැලුණු පසුවය. ඉන්පසු පත්‍ර පමණක් ශේෂ වේ. තවද සීත සෘතුව ආරම්භ වනතුරු සකුරා තුරුලතාවල පත්‍ර පමණක් ශේෂ වේ.
වසන්ත සමයේදී සකුරා මලින් බරව ගිය උයන් සිසාරා ජපන් ජාතිකයන් තම කාර්යාල සගයන්, හිත මිතුරන් සහ පවුලේ උදවිය සමගින් එක්ව සතුටු වීම සම්ප්රදායයි. එසේ සතුටු වූ දසදහසක් දෙනා අතර සිටි මටද බැලු බැලු අත දැකගත හැකිවූයේ එම උයන්වල කිටි කිටියේ තෙරපි තෙරපී යන සතුටු පිරුණු මුහුණු පමණි.සකුරා මලින් පිරීගිය තුරුලතා යට පැදුරක් එළා තම නිවසේදී පිළියෙළ කරගත් අඩුම කුඩුම රැගෙනවිත් උදුන් මත තබා අහාර පිස සතුටු සාමිචියේ යෙදෙමින්, මිහිරි සංගීත වාදනයට මියුරු ගී ගයමින් ආහාර පාන භුක්තිවිඳින ජපන් ජාතිකයන් මෙන්ම වෙළෙඳ සැල්වලින් රැගෙන ආ ආහාර, විදෙස් මධුවිත මෙන්ම ජපානයටම ආවේණික සකේවලින් සප්පායම් වෙමින් ගී කියමින් ප්‍රීතිවන්නට ජපන්නු බොහෝ ප්‍රියය. ඔවුන් මෙය හනමි යනුවෙන් හඳුන්වති. %හනමි^ චාරිත්‍රය වසර දස දහසක් අතීතයේ සිට පැවත එන්නක් බව ජපන් පොතපතේ සඳහන් වේ. හනමි ජපන් ජාතිකයන්ගේ වචන අර්ථයෙන් ගත්කල %මල් පිපෙනවා බැලීම^ යන අර්ථයක් ගැබ්ව ඇති බව මා හිතවත් ජපන් ජාතිකයෙක් පවසා සිටියේය. එමෙන්ම හනමි චාරිත්‍රය සිදුකිරීම ජපන් ජාතිකයන් ගෞරවයක් ලෙස සලකන බවද ඔහු තවත් විස්තර කළේය.
සකුරා මල් සම්පූර්ණයෙන්ම පූදින දිනය මාධ්‍ය හරහා ජපන් ජාතිකයන්ට සන්නිවේදනය කරන අතර, එසේ සකුරා මල් උච්චතම අවස්ථාවට පැමිණෙන දිනට පෙර දින මධ්‍යම රාත්‍රියේ සිට උයන් වෙත ඇදී එන ජපන් වැසියෝ පසුදා හනමි චාරිත්‍රයේ යෙදීම සඳහා සකුරා ගස් යට තම ස්ථාන වෙන්කර ගැනීමද සිදුකරති. ඒ පසුදා උදෑසන පැමිණෙන විට හනමි චාරිත්‍රයේ යෙදීමට ඉඩකඩ වෙන්කරගැනීම උගහට වන බැවිනි. අතීතයේදී සකුරා මල් සම්පූර්ණයෙන්ම පූදින දිනය තම තමන්ගේ අත්දැකීම් අනුව තීරණය කොට ඇත.
සකුරා මලින් පිරී ඉතිරි ගිය උයන් දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීද ජපන් වැසියන්ගෙන් පිරී ඉතිරී යන්නේය. විදුලි පහන් ආලෝකයෙන් අලෝකමත් වන උයන්වල සකුරා මල් විකසිත වන අයුරු දැකගැනීමේ නොනිමි අසාවෙන් පෙළෙන තරුණ පෙම්වතුන්, වැඩිහිටියන්, මිතුරු මිතුරියන් මෙන්ම කුටුම්භයන්ද දැකගත හැකිය. එවැනි රාත්‍රියක ඇති විචිත්රත්වය වචනයෙන් විස්තර කිරීමද දුෂ්කර ක්‍රියාවකි. මෙසේ රාත්‍රී කාලයේදී %හනමි^ චාරිත්‍රයේ යෙදීම %යොසාකුරා^ නමින් හැඳින්වේ. එමෙන්ම රාජකාරි කටයුතුවල නිරතව සිටින ජපන් ජාතිකයෝ සන්ධ්‍යා සමයේදී තම කාර්යාල සගයින්, යෙහෙළියන් සමගින් උයන් වෙත පැමිණ රෑ බෝවනතුරු ප්‍රීති වෙති.
සකුරා මල් පිපීමත් සමගින් ආරම්භ වන වසන්ත සමයේදී ජපන් වැසියන්ගේ මෙන්ම ජපානය තුළ ජීවන්වන විදේශිකයන්ගේ ජීවිතවලද නව වසරක් වෙනුවෙන් බොහෝ වෙනස්කම් සිදු වේ. ජපානය තුළ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ මෙන්ම විද්යාර්ථීන්ගේද අධ්‍යයන වර්ෂය ආරම්භ වීම, නිසි වයසට එළඹි දරුවන් පාසල් අධ්‍යාපනය ලබාගැනීම සඳහා ප්‍රථමයෙන් පාසලක් වෙත පියනැගීම, ව්‍යාපාරික ආයතනවල පිස්කල් වර්ෂය ආරම්භ වීම, කාර්යාල සඳහා සේවකයන් බඳවාගැනීම, නව වසරක් සඳහා විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ආදී මෙකී නොකී බොහෝ සිදුවීම් වසන්ත සමය කේන්ද්‍ර කරගනිමින් සිදු වේ. තවද පාසල් තුළ සහ කාර්යාල තුළ හනමි උත්සව සහ ප්‍රිය සම්භාෂණ සංවිධානය වන අතර, ඒ හරහා නව මිතුරු මිතුරියන් හඳුනාගැනීමේ අවස්ථාවද හිමි වේ.
එහෙයින් වසන්ත සමය ජපානයේ ජීවත්වන සියලු දෙනාගේම ජීවිතවල නව පිටුවක් පෙරළෙන කාලවකවානුවකි. තම ජීවිතවල ඇති මිහිරි මතක අතරින් වැඩි ප්‍රතිශතයක් සකුරා මල් සමග බැඳී පවතින බැවින් සකුරා මල් පිපෙන සෑම වර්ෂයකම එම මිහිරි මතක නැවත නැවතත් අලුත් කරගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ.