සීත සෘතුවේ කටෝරත්වයෙන් ජපානය කෙමෙන් කෙමෙන් ඈත් වෙනවාත් සමගම වසන්තය සෙනෙහසින් වැලඳගත් ජපන් ජාතිකයන් මෙන්ම ජපානයේ ජීවත් වන සෙසු ජාතීහු ද එහි මිහිර නොඅඩුව වින්දෝය. ඒ ජපානයටම සුන්දරත්වය කැන්දාගෙන එන, ජපන් අනන්‍යතාව ලොවටම විදහාපාන සකුරා මල් හෙවත් චෙරි මල්වල පහස විඳගැනීමේ අවස්ථාව වසන්තයේ ආරම්භයත් සමග හිමිවූ නිසාය. සීතලට ඉඩදී පත්‍ර හළා, ගුලිවී සිටි සකුරා ගස් නව උප්පත්තියක් ලද්දා සේ මලින් බර වූයේ මුළු පරිසරයම හැඩ කරවමිනි. බැලූ බැලූ අත එකම සිරියකි. අප සිතුවම් හි හෝ සේයා රූ වල පමණක් දකින සොබාදහමේ අපූරු රූ රටා ඇස් මානයේ පෙනෙන්නේය.
නෙක නෙක සුන්දර දසුන් සිය කැමරා කාචයට හසුකර ගන්නට යුහුසුලු වන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් තෝකියෝව පිරී ගොසිනි. හිතවත් ජපන් සමාගමයේ හිත මිතුරු කිහිපපොලක් සමගින් මිහිපිට දෙව් ලෝ මවන සකුරා මල් හි අසීමිත සොඳුරු බව විඳිමින් “උඑනෝ, මෙගුරෝ, සුමුදා සහ ෂින්ජුකු” ආදී සකුරා මලින් ගහන වූ නගරයන් හි සැර සරන්නට අවස්ථාව උදාකරගතිමි.
ෂිනගාවා, සෙතාගායා සහ මෙගුරෝ නගරවල කොට්ඨාස කිහිපයක් ආවරණය වන පරිදි වැටී ඇති මෙගුරෝ ගඟ කි.මී 7.82ක් තරම් වූ ඉතා කුඩා වුවත් ගඟ ‘දෙපස පිහිටි සිය ගණනක් වූ සකුරා ගස් නිසා එහි සුන්දරත්වය කිව නොහැකි තරම්ය. ඒ වගේම තමයි උඑනෝ උද්‍යානය. තෝකියෝව කේන්ද්‍ර කරගනිමින් ජීවත්වන බොහෝදෙනෙකු සකුරා මල්වල අසිරිය විඳගන්න එක් වරක් හෝ උඑනෝ උද්‍යානයේ සංචාරය කරන බව නම් විශ්වාසයි.
එසේ සංචාරය කරන බොහෝ අය සකුරා මල් වලින් පිරීගිය සකුරා ගස් යටට වී ජපන් මධුවිතින් සප්පායම් වෙමින් ජපන් කෑම වේලක රස බලන්නත් අමතක කරන්නේ නැහැ. ඒකට ජපන් භාෂාවෙන් කියන්නේ “හනමි” කියලයි. යෞවන වයසේ පසුවන තරුණ තරුණියන් වගේම වැඩිහිටි අයද අඩුම කුඩුම රැගෙන රංචු පිටින් පැමිණ “හනමි” සම්ප්රදායේ යෙදෙමින් විනෝදවීම මෙකල සුලබ දසුනක්. අපේ කණ්ඩායමත් සාම්ප්‍රදායික “හනමි” චාරිත්‍රය ඉටු කරන්න අමතක කළේ නැහැ. කෑමෙන් බීමෙන් සප්පායම් වෙන ගමන් කැරොකේ ගීත ගයමින් විනෝද වෙන අපේ පිරිසට මාත් එකතු වුණා.
මෙවර වසන්තයේ දී මගේ හිත ඇදී ගියේ සකුරා මලින් පිරීගිය “හන්සමොන්” වෙතටයි. ගඟට නැමුණු සකුරා අතුවල පිරී තිබූ සකුරා මල් මෙන්ම වීථිය දෙපස සකුරා මල්වලට විදුලි පහන් ආලෝකය ගෙනාවේ අමුතුම දීප්තියක්. අපේ රටේ වෙසක් කූඩු වාගේ එක දිගට එක පේළියට එල්ලූ පහන් කූඩු සහ ඉන් නිකුත් වන වර්ණවත් එළියෙන් ආලෝකවත් වූ ගං තීරය රාත්‍රී කාලයට එක් කළේ සුරඟන ලොවක සිරියකි. ඊටත් වඩා මේ අපූර්වත්වය විඳින නිහඬ ප්රේක්ෂකත්වය එහි සංචාරය කළ මට ගෙනදුන්නේ වෙනත් ලොවකට බට අමුත්තෙකුට දැනෙන්නා වූ නවමු අත්දැකීමක්. එකී මල් වියනින් සුසැදි දසුන්හි වදනින් විස්තර කළ නොහැකි චමත්කාරය කවියකට මොනතරම් අගනේදැයි මට සිතුණා. ජපන් හයිකු කවි පෝෂණයට මේ පාරිසරික සුන්දරත්වය කෙතරම් ඉවහල් වන්නට ඇත්දැයි යන්න එය සැබවින් දුටුවෙකුට ප්රත්යක්ෂ වෙන්නක්.
ඔරුවක නැග ගඟට නැමුණු සකුරා මලින් පිරීගිය අතු යට හිඳිමින් පෙම් සුව විඳින පෙම්වතුන්. නෙක නෙක දසුන් සිය කැමරා කාචයේ සටහන් කරගන්නට උත්සාහ දරන පෙම්වතියන් සහ ඇයට උදවු කරමින් ඔරු පැද යන පෙම්වතුන්. තවත් ඉසව්වක පියාගේ බාහු ශක්තියෙන් පැදයන ඔරුවේ හිඳමින් සකුරා මල්වල පහස විඳිමින් සතුටු වන මව සහ දරුවන් හරියට සුරංගනා කතාවක දර්ශන වගේ.
වසන්තය ආරම්භ කරමින් මාර්තු මස අවසන් සතියේ දී පිපෙන චෙරි මල් අප්‍රේල් මස පළමු සතිය අවසන් වනවාත් සමගම හැලිලා යනවා. මෙවර සකුරා මල් බලාපොරොත්තු වූ දිනවලදී නම් නොපිපුණු තරම්. ඒ ගැන කියන ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අදහස දේශගුණ වෙනස්වීම් නිසා එහෙම වුණා කියලයි. කොහොම වෙතත් සමස්තයක් ලෙස ගත් කල මාර්තු අග සතිය සහ අප්‍රේල් මුල් සතිය තමයි ජපානයම සුදු, රෝස සහ තද රෝස සකුරා මල්වලින් පිරී යන්නේ.
තෝකියෝවේ මෙගුරෝ, හන්සොමොන් ගං තීරවලද ෂින්ජුකු, උඑනෝ වැනි උද්‍යානවල මෙන්ම ජපානයේ සතර දිග් බාගයේම බැලූ බැලූ අත පීරි ඉතිරී ගිය සකුරා මල් සොබාදහම සමගින් අපූරු රංගනයක යෙදීම මෙකල සුලබ දසුනක් වුවත් සකුරා මලේ ආයු කාලය සති දෙකක තරම් කෙටි වූවක්. ජපන් ජාතිකයන් එය ජීවිතය හා සම්බන්ධ වූවක් හැටියටයි සලකන්නේ. පළමු සතිය අවසන් වනවාත් සමගම සම්පූර්ණයෙන්ම පිපෙන සකුරා මල් දෙවැනි සතිය අවසන් වනවාත් සමග තුරු අගින් බැස යෑම හරියට අපේ ජීවිත වගේ කියලයි ජපනුන්ගේ අදහස. ඉතාම කෙටි වූ අපේ ජීවිතත් කෙටි කාලයක් තුළ උපරිම තලයට ඇවිත් ආයෙත් පරවෙලා යන්නක් වගේ. ඒ නිසා ඉතා කෙටි වූ ජීවිතය සතුටින්, සුන්දරව විඳින්න ඕන කියලා ජපන් ජාතිකයෝ කියනවා. හරියට සකුරා මල් වගේ.
ජනවාරි මාසයේ පළමු වැනිදා පන්සල් ගිහිල්ලා ආගමික චාරිත්‍ර සිදුකළත් අප්‍රේල් මාසේ තමයි ජපානයේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ. ඒ නිසා වසන්ත කාලයේ දී ජපන් ජාතිකයන්ගේ ජීවිතවල බොහෝ වෙනස්කම් සිද්ධවෙනවා. විශ්වවිද්‍යාලයට යන වයසේ පසුවන තරුණ තරුණියන් මුලින්ම විශ්වවිද්‍යාලයට යන්න පටන් ගන්නේ වසන්ත සමයේදීයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරලා රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඉස් ඉස්සෙල්ලම රැකියාවකට යන්න පටන් ගන්නෙත් වසන්ත කාලෙදි. නිසි වයසට එළඹි දරුවන් පාසල් අධ්‍යාපනය ලබන්නත් ප්‍රථමයෙන් පාසල් වෙත යන්නෙත් මේ වසන්ත සමයේදි තමයි. ඒ වගේම රාජ්‍ය ආයතනවල ෆිස්කල් වර්ෂය පටන් ගන්නෙත් අප්‍රේල් මාසයේ දී. එපරිද්දෙන් වසන්ත සමයේදී ජපානය තුළ වසරක් පසා බොහෝදෙනෙකුගේ ජීවිතවල අලුත් පිටුවක සටහන් තබමින් ජීවිතය ගලාගෙන යන්න පටන් ගන්නවා. මේ චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම පටන් ගත්තේ මෙයිජි රජතුමාගේ පාලන කාලෙදි කියලයි ජපන් ජාතිකයෝ කියන්නේ.
ගිය අවුරුද්දේ පිපුණු සකුරා මල්වලින් හදපු අච්චාරු, බැඳපු ළා දලුවලින් හදපු කෑම, සකුරා කොළ වලින් ඔතාපු කැවිලි වර්ගත් විකුණන්න පටන් ගන්නෙත් වසන්ත කාලයේදී. කඩ සාප්පු, අවන්හල්, වීථි සකුරා මල් සැරසිලිවලින් සරසලා. බැලූ බැලූ හැම තැනම උත්සව සිරියෙන් පිරීගිහින්. ජපානයේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ වුවත් වසන්තය නිසා ව්‍යාපාරිකයන්ද අඩු මුදලට භාණ්ඩ හා සේවා ලබාදෙනවා. හරියට අපේ රටේ වගේ. ඒක ව්‍යාපාරික වශයෙන් කරන දෙයක්ද එහෙමත් නැතිනම් අවංකවම කරන දෙයක්ද කියලා දන්නේ ඒ අය තමයි. හැබැයි ඉතින් එක දෙයක්නම් කියන්න ඕනේ. අඩු මුදලට විකුණුවත් ජපන් අය විකුණන බඩුවල ගුණාත්මක භාවයේ වෙනසක් නෑ. ඒක තමයි ජපනුන්ගේ අනන්‍යතාව.