විහාර දේවාල ඉඩම් අර්බුධය විසඳීමට කළ ප්‍රකාශයට ජනපතිට ගෞරව කරනවා
තමන් සතු සාම්ප්‍රදායික දේපළ ඉඩකඩම් යම්යම් පාර්ශ්වයන් විසින් අවභාවිත කිරීමෙන් ඇසළ පෙරහරවත් පැවැත්වීමට නොහැකි මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි ඒ ස්ථානවල භාරකාරත්වය සඳහන් කරයි. එම අර්බුදය සම්බන්ධයෙන් මහනුවර සතරමහා දේවාලයන් අතරින්
නාථ දේවාලයේ බස්නායක නිලමේනීතිඥ ගයාන් හීංකෙන්ද මහතා සමග 'අද' කෙරෙන සංවාදයකි.
Q විහාර දේවාලගම් පනතට අයත් වන ප්‍රදේශ මොනවාද?
1931 විහාර දේවාලගම් පනත අනුව එයට යටත් වන්නේ උඩරට ස්ථානයන් පමණයි.මහනුවර, කුරුණෑගල, කෑගල්ල, මාතලේ, වරකාපොළ සහ ඌව ප්‍රදේශය මේ පනත තුළින් ආවරණය වෙනවා.
Q මෙම ඉඩම් විහාර දේවාලවලට අහිමිවුණේ කොහොමද?
හේතු කාරණා ගණනාවක් තියෙනවා.මම කීපයක් කියන්නම්.පැරණි සීමා මායිම් මොනවාද කියලා හඳුනාගැනීමට නොහැකිවීම එක හේතුවක්. රජ දවස විහාර දේවාලවලට වෙන් කළ ඉඩම් දේපොළ පිළිබඳ සීමා මායිම් පැරණි සෙල්ලිපිවල කොටා තියෙනවා.සමහර ඒවා අද විනාශ වෙලා.
අනික 1820 ගණන්වලදී සුදුපාලකයන් මුඩුබිම් පනතක් ගෙනාවා. මුඩුබිම් පනත අනුව 1948 ගණන්වල ඉඩම් මැනීමට කටයුතු කළා.නමුත් සමහර විහාරස්ථානවලට ඒ සඳහා වියදම් දැරීමට හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ නිසා ඒවා අතහැරුණා. එවැනි ඉඩම් රජයේ ඉඩම් (ක්‍රවුන්ලෑන්ඩ්) වශයෙන් අත්හැරුණා.නමුත් එයින් ඒවා විහාරදේවාලගම්වලට අයත් වන්නේ නැහැයි කියන්න බැහැනෙ.දැන් කළ යුත්තේ ප්‍රමාදය සොයා නිවැරදි කිරීමයි.
සිද්ධස්ථානයක් සඳහා වෙන් කර දී තිබූ ඉඩම්වල භාවිත කළ ඉඩම් මායිම් පිළිබඳ සමහර ගුරු හාමුදුරුවරුන් සහ බස්නායක නිලමේවරුන්ගෙන් පසු ගෝල හාමුදුරුවරුන්ට හෝ සමහර නිලමේවරුන්ටත් වැටහීමක් තිබුණේ නැහැ. ඒ නිසා ඒවා වෙනත් අයට අත්පත් කරගැනීමට අනුබලයක් වුණා.
ඉංග්‍රීසි ජාතිකයන්ගේ බලපෑමෙන් සිංහල බෞද්ධයන් වෙනත් ආගම්වලට හැරවීමත් සමග ඔවුන් භුක්තිවිඳි විහාර දේවාල ඉඩම්වලින් හරහා ඉටු වූ රජකාරි සිද්ධ වුණේ නැහැ.එයින් පසු එම ඉඩම් භුක්තියට සවි කරගත්තා. තවත් සමහරු ව්‍යාජ ඔප්පු සකස් කරගෙන තියෙනවා.
සමහර තැන්වල විහාර දේවාලගම් පනතට යටත් වුණු ඉඩකඩම් නිසි ලෙස කළමනාකරණයට ඒවායේ භාරකාරත්වය දරන අය කටයුතු කරලත් නැහැ.
යම්කාලයක කිනම් හෝ හේතුමත වැරදි සිදුවෙන්න ඇති.තවදුරටත් ඒ වැරදි අතපසුවීම් ප්‍රමාදයන් පවත්වාගත යුතු නැහැ.ජනාධිපතිතුමා මහනුවර මඟුල් මඩුවේ දේශප්‍රේමීන් නම්කළ ගැසට් පත නිකුත්කළ දාවිහාරදේවාලගම් පනතට අදාළ ඉඩම් නිවැරදි කිරීමට රජය කටයුතු කරන බවට ප්‍රතිඥාවක් දුන්නා.මෙරට රාජ්‍ය නායකයන් අතරින් නිදහසින් පසු එවැනි පොරොන්දුවක් දුන් නායකයෙකු හැටියට එතුමාට ඒ ගෞරවය හිමිවෙනවා.
Q ඒත් මේ වනවිට බොහෝ ස්ථානවල එම දේපොළ වෙනත් ගිහි පාර්ශ්වයන් අයිතිවාසිකම් භුක්තිවිඳින නිසා එයින් ගැටුමක් මතුවන්නේ නැද්ද?
අපට හිතන්නට දේ බොහෝ තියෙනවා.නීතිය පැත්තෙන් අපේ ස්ථානවලට ඇති අයිතිය අතහැර දමන්න. ඒවා රැක බලාගත යුතු පාර්ශ්වයන් හැටියට ඒ වගකීමෙන් අපට නිදහස් වෙන්න බැහැ.
Q විහාරදේවාලවලට මේ තරම් ඉඩකඩම් ඇයි කියලා ඇතැමුන් අහනවා?
එහෙම මතයක් තිබිය හැකියි.නමුත් මම පළමුව සඳහන් කළ විදිහට එදා රාජ්‍ය පාලකයන් දුරදිග හිතුවා.ඒ අය මේ ස්ථාන වෙනුවෙන් මේ පරිත්‍යාග කළේ සෙල්ලිපි සන්නස්වල සඳහන් කරමින්. ඉඩකඩම් දේපළ වෙන් කළේත් චිරාත් කාලයක් සම්ප්‍රදායන් අඛණ්ඩව පවත්වාගෙන යාමටයි. ඒ සඳහා අවශ්‍ය වන වියදම් දරාගැනීමට ක්‍රමයක් තමයි මේ ඉඩම්.
ඔබ හිතන්න. අද පෙරහරක් කරන්න එක් දේවාලයකට ලක්ෂ දහපහළොවකට වඩා අවශ්‍යයි. වියදම්වන මුදල් ජනතාවගෙන් අය කරගන්න බැහැ.රජයෙන් ඉල්ලන්නත් බැහැ.එහෙම නම් කරන්න තියෙන හොඳම දේ තමන්ගෙ දේපොළ නිසිකළමනාකරණයක් සහ පරිපාලනයක් යටතට පත් කරගෙන එයින් ලැබෙන ආදායමෙන් ඒ කාර්යය කරන එකයි.අන්න එතනදි අපේ දේපොළ වෙනත් අය භුක්ති විඳිනවා නම්, ආදායම් ලැබන්නේ නැත්නම් අපි පෙරහරක් කරන්නේ කොහොමද?වත්පිළවෙත් නඩත්තු කරන්නේ කොහොමද?
උදාහරණයක් හැටියට අද අස්ගිරි ක්‍රීඩාංගණයට අයත් භූමිය, මහනුවර දුම්රිය ස්ථානය, අධිකරණ සංකීර්ණ ඉඩම් එදා අස්ගිරි මහාවිහාරයට අයිති තැන්. මීනාමක්කම් මුස්ලිම් පල්ලියටඒ ඉඩමදුන්නෙත් අස්ගිරිය මහා විහාරයෙන්. එහෙම වෙනකොටරටේ අවශ්‍යතා අනුව මෙම විහාරදේවාල ඉඩම් භාවිත වෙලා තියෙනවා.
Q මේ ඉඩම් යමෙකුට පවරන පිළිගත් ක්‍රමවේදය පැහැදිලි කළොත්?
සිද්ධස්ථානවල ඉඩම් භුක්ති විඳිය හැකි ක්‍රම දෙකක් තියෙනවා.එකක් බණ්ඩාර ඉඩම් හැටියටයි.අනික රාජකාරි ඉඩම් හැටියටයි.බණ්ඩාර ඉඩම් කියන්නේ අපි සෘජුවම බදු දී ඒවායෙන් එන මුදලින් ආදායම් සොයාගැනීමයි.දෙවැන්නරාජකාරි ඉඩම් යන කොටසයි. එතෙන්දි හේවිසිකරුවන්,පොල්තෙල් සපයන්නන් ආදී වශයෙන් අනන්ත රාජකාරි තියෙනවානෙ.ඒ අයට ඒ කටයුතු සඳහා ලබාදෙන ඉඩම් සැලකෙනවා.
Q ඔබ නාථ දේවාලයේ ඉඩම් අයිතිය ගැන පැහැදිලි කළොත්?
නාථ දේවාලය කියන්නේ දළදා මාළිගා පරිශ්‍රය තුළ තියෙනපෞරාණික පුද පූජාභූමියක්. මෙයට දිවයිනේ තවත් පළාත්වල ඉඩම් අක්කර 2000 ක් පමණ තියෙනවා.
Q ඒ අක්කර 2000 න් ලැබෙන ආදායම් ප්‍රමාණවත්ද?
මම කියන්නේ අක්කර 2000 ක් ලේඛනවල සඳහන්වුණාට ඒවායෙන් දේවාලයට ලැබිය යුතු කොටස ලැබෙන්නේ නැත්නම් ඉලක්කම්වලින් ඒ දේ සඳහන් වුණාට වැඩක් නැහැ.දළදාමාළිගාවටත් එහෙමයි.අනෙක්සතරමහාදේවාලවලටත් එහෙමයි. විහාර දේවාලගම් පනතට යටත්වන සිද්ධස්ථාන හැම එකකටම එහෙමයි.
අනික අදවනවිට අපේ ඉඩම් නිරවුල් කරගැනීමට බස්නායක නිලමේවරුන්ටත්, නායක හිමිවරුන්ටත් මහත් වෙහෙසක් දැරීමට සිදුවෙලා තියෙනවා.
Q මේවරද ඔබ දකිනවා නම් දේවාලය සතු දේපළ පවරාගැනීමකට හෝ ඒවායේ භුක්ති විඳින්නන්ගෙන් දේවාලයට යම් ප්රතිලාභ ලැබෙන ක්‍රමයක් ගැන අවධාරණය කර තිබෙනවාද?
මම දැන් ඒ දේ කරගෙනයනවා.මේ වනවිට අපට ආදායම නොලැබී තිබුණු දේපළ 235කින් ආදායම් ලබාගැනීමට මගේ වසර දෙක තුළ කටයුතු කර තියෙනවා.
Q දළදා මාළිගා පරිශ්‍රය අවටද යම්යම් ඉදිකිරීම් සහ අත්පත්කරගැනීම් සිදුවන බවට ජනතාව තුළ චෝදනා තිබෙනවා.එහෙම වෙන්නේ ඇයි?
ඇයි කියන එකට නොයෙක් හේතු තිබිය හැකියි.මම කියන්නේ එහෙම වෙනවා නම් ඒ වැරදි අඩුපාඩු නිවැරදි කරගැනීම 1931 පනත අනුව යමින් කළ යුතුයි. අතීතයේ සිදුවූ වැරදි අනුව සමහර විට ඇතැමුන් වැරදි පූර්වාදර්ශ ලබාගත හැකියි.
Q ඒ වැරදි නිවැරදි කළ යුත්තේ කවුද?
මෙතනදි තමන්ගේ අයිතිවාසිකම් සොයා නිරවුල් කිරීමේ වගකීම අදාළ දේවාලවල බස්නායක නිලමේවරුන්ටත්, විහාරස්ථානවල නායක හාමුදුරුවරුන්ටත් මූලිකව පැවරෙනවා.
Q ඇයි බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා?
එතුමා කරන්නේ අපි ලබාදෙන වාර්තා අනුව යමින් එතුමාගේ කාර්යය වන අනුමැතිය ලබාදීම කරන එකයි.
Q මේ අයථා භුක්තිවිඳීම සිදුවන්නේ රජය පැත්තෙන්ද? ජනතාවගේ පැත්තෙන්ද?
මෙතැන රජයද, ජනතාවද කියන ප්රශ්නය නැහැ.රටේ ජනතාව වගේම ආණ්ඩුව පැත්තෙන්ද සමහර තැන්වල තමන්ගේ යැයි භුක්තිවිඳින අවස්ථා තියෙනවා.
Q එහෙම නම් නඩු මඟට නොයන්නේ ඇයි?
නඩුමගට ගිහින් තියෙනවා.අධිකරණයේ පවතින කටයුතු ගැන කතා කරන්න මම කැමති නැහැ.නමුත් ඒ තැන්වලටඅපේ අයිතිය අපි පෙන්වලා තියෙනවා.
Q දේවාල සතුව දේපොළ තිබෙනවා යැයි කීවට ඒ අහිමි දේ නැවත අත්පත් කරගැනීමට පියවර ගෙන තිබෙනවාද?
අපි නොකරනවා නෙවෙයි.නාථ දේවාල විහාරස්ථානයේ නායක අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්යශ්රී ගුණරතන රතනසාර නායක හිමියන් සමග අපි අපේ නාථ විහාරදේවාලය සඳහා පවතින අයිතිවාසිකම් වෙනුවෙන් මේ වනවිට කටයුතු කරගෙන යනවා.
ඒ වගේම සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් හැටියට අද ඉන්න තරුණ හතර දෙනාටත්,විහාරස්ථානවල නායක හාමුදුරුවන් වහන්සේලාටත් මේ ගැන අවංකවම උනන්දුවක් තියෙනවා.
Q මෙසේ අනවසරයෙන් භුක්ති විඳින ඉඩම් හඳුනාගෙන තිබෙනවාද? එසේනම් පවතින බාධක මොනවාද?
අපි අදාළ ඉඩම් පිහිටි තැන්වලට දැන් යනවා.මේක හරිම දුෂ්කර කටයුත්තක්.සමහර අවස්ථාවල අපට තර්ජන එනවා. එතනදි බොහෝ විට අපි අනාරක්ෂිතයි. ඉඩම්වලට ගියාම ඒවායේ පදිංචිකරුවෝ අරගල කරනවා.ඒ අය හිතන්නේ අපි ඒ අයගේ ඉඩම් මංකොල්ලකෑමට එනවා කියලා.අපි දන්නවා ඒවා අපට අයිතියි කියලා. ඒවා අපේ සිද්ධස්ථානවලට අයිති නම් ඒවා ලබාගැනීම අපේ පෞද්ගලික උවමනාවක් නෙවෙයි. හෙට පරපුරත්,රටේ උරුමයත්, ජාතික සංස්කෘතියත් සඳහා කළ යුතු අපේ රාජකාරිමය වගකීමක් වෙනවා.
අනිකඒ තැන් සොයාගෙන යාමේදී දරන්නට සිදුවන වියදම විශාලයි. නඩු කියන්න සල්ලි කොහෙන්ද? ලේඛන පිටු පෙරළන්නත් කොයි තරම් උත්සාහයක් ගත යුතුද? මේවට ආදායම් සොයාගන්න තියෙන්නෙත් මේ දේවාලගම්වලින්ම නම්, ඒවායින් ආදායමක් ලැබෙන්නෙ නැතිනම් කොහොම කරන්නද කියලා හිතන්න?අපට අවශ්‍ය රාජ්‍ය රැකවරණය, අනුග්‍රහය ලබාදීමට රජය අවධානය යොමු කරනවා නම් හොඳයි.
Q රජය මෑතකාලීනව ඉඩම් නිරවුල් කිරීම සඳහා ජාතික මට්ටමින් 'බිම් සවිය' නමින් වැඩසටහනක් ආරම්භ කළා.එයින් ඔබ පවසන අර්බුදවලට විසඳුමක් ලැබන්නේ නැද්ද?
එය ඉඩම් හිමිකම් නිරවුල් කිරීම සඳහා හොඳ ආරම්භයක්.එහෙත් අවුරුදු සිය ගණනාවක් ඈතට ගිය අර්බුද මතුව තියෙන දේපොළ අයිතිය නිරවුල් වියයුතු සිදුවීමකදී මෙවැනි ක්‍රමයකින් ලැබෙන අනුබලය අඩුයි කියන එකයි මගේ අදහස.අනික මතුපිටින් මෑතකාලීන හතරමායිමක් හෝ බැලූ බැල්මට පවතින තත්ත්වයන් යටතේ විහාරදේවාලගම් යන වචනය තුළ හිමිකම් උරුමකම්විනිශ්චයකට එන්න අමාරුයි.පොදුවේ බිම් සවිය යටතේ හොඳ බරක් එන්නේ නැහැ කියන තැන මම ඉන්නවා.
Q එහෙමනම් ඔබ ගෙනෙන යෝජනාව කුමක්ද?
අපි කියන්නේ සුද්දාගේ පාලන සමයේ හිමිකම් පිඹුර යනුවෙන් සුදු පාලකයන් විසින් දේපොළවල සන්තකය පිහිටුවමින්ඒ අයිතිය පිළිගැනීමට ලක්කළානේ.එතෙන්දි ඒ මැනුම් අනුව අපට මේ දේපළ ස්ථාවර කරදියයුතුයි.අපි නොමනා විදිහට අයථා ඉල්ලීමකින් අනුන්ගේ දේපළ පවරාගැනීමට ගන්නා උත්සාහයක් නෙවෙයි.අපේ දේ අපට දෙන්න.අපෙන් යමෙකුට යම් අවශ්‍යතාවක් සඳහා යොදාගත යුතු තැනක් තියෙනවානම් ඒ සඳහා අණපනත් අනුව අපි සමග සාකච්ජා කර ඒ අර්බුදය විසඳාගැනීම සුදුසුයි.
Q ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවට පොරොන්දු වුණා.එහෙම නම් ඔබ නීතිඥවරයෙකු හැටියටත්, බස්නායක නිලමේවරයෙකු හැටියටත් මේ සිදුවීම සම්බන්ධයෙන් රජයට පෙළගස්වන ක්‍රමවේදය යෝජනා කළොත්?
පළමුව අදට තියෙන දේපොළ අයිතිය සහ හිමිකම් නිරවුල් කර දිය යුතුයි.දෙවනුව 1931 පනත දක්වා ගොස් එයට අදාළව පවතින අයිතිවාසිකම් තහවුරු කිරීමට රජයට පියවර ගත හැකියි.තුන්වෙනුව එයින් පිටත මේ අංශ දෙකටම අයත් නොවුණු දේපොළ ඉඩකඩම් පිළිබඳ සලකා බලා සුදුසු අණපනත් නීතිරීති සම්පාදනය කළ හැකියි.නැතහොත් තියෙන ඒවාතුළ ඒවා බලාත්මක කළ හැකියි.
Q එහිදී විශේෂයෙන්ම දායක වියයුතු සහ අදහස් විමසිය යුතු පාර්ශ්ව කවුද?
අන්න එතනයි වැදගත්වෙන්නේ.මොකද විහාරදේවාලගම් පනත හෝඅපේ ඈත කාලීන සාම්ප්‍රදායික සිරිත්විරිත් සහ අපේ ආගමික සංස්කෘතික චර්යාවන් ගැනත් දන්නා අය මෙතනදි දායක වියයුතුයි.ඒ අයටයි මේ දේ වටහාගැනීමේ අවබෝධය තියෙන්නෙ.සිද්ධස්ථාන භාරකරුවන්ද, ඒවායේ නායක හිමිවරුන් සමග මාළිගාවේ දියවඩන නිලමේතුමාද අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුයි.
අනික අපි කොහොමත් දැන් අපේ සිද්ධස්ථාන දේපොළවල පදිංචි පිරිස් අවතැන් වන පරිදි පන්නාදැමිය යුතුයි කියන තැන නොව, ඔවුන්ට සාධාරණය සහ අපට අපේ අයිතිය ලැබෙන ක්‍රමයක් සඳහා රජය කටයුතු කළ යුතුයි කියන තැන ඉන්නවා.ඒකයි මම පළමුව අදට තියෙන දේ නිවැරදි කරන අතර, 1931 පනත යටතේ කටයුතු කරන්න කීවේ. රජයේ ආයතන භුක්ති විඳින දේපොළ වෙනුවෙන් ආණ්ඩුකාරවරුන්, මහ ඇමතිවරුන්, ආයතන ලේකම්වරුන් ඇතුළත්ව විෂයභාර අමාත්‍යවරයාද දායක විය යුතුයි.
Q ජනතාවගේ පැත්තෙන්සිදුවිය යුත්තේ කුමක්ද?
බෞද්ධ ජනතාවටත් යුතුකමක් තියෙනවා මේ අපේ සංස්කෘතිය සහ උරුමයේ අයිතිය නම් ඒ වෙනුවෙන් තම යුතුකම් සහ වගකීම් ගැන හිතන්න.අපි බෞද්ධයන් වගේම අපෙන් බුදුදහම සහ එහි සංස්කෘතික අංග රැකගැනීමටත් අනුබලයක් ලැබෙන්න එපායැ.නැතිනම් අපෙන් මතු පරපුරට ඉතිරි කරන්නේ මොනවාද?
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

