මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලි පේනු වර්ග 60කට අධික සංඛ්‍යාවක් භාවිත වන බවත්, කෙවෙනි වර්ග 03 ක් භාවිත වන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. මේ නිසාම නිසි ප්‍රමිතියකින් තොර විදුලි පේනු හා කෙවෙනි (plugs and sockets) භාවිතයේදී සිදුවන හානිය ඉහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් ප්‍රමිතිගත විදුලි හා පේනු වෙත මාරුවීමට රජය තීරණය කර ඇති බවත් ඔවුහු පවසති. මෙම ප්රමිතිකරණය මේ වනවිට ක්‍රියාත්මක වන බවත් ජනතාවට මේ සඳහා හැඩගැසීමට වසර දෙකක කාලයක් ලබා දී ඇති බවත් ඔවුහු නිවේදනය කරති. එබැවින් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම ලිපිය සැකසෙන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තොරතුරු අනුවය.
ඒ අනුව සෘජුකෝණාස්‍ර හැඩයෙන් යුතු ජී වර්ගය ලෙස හඳුන්වන විදුලි පේනු සහ කෙවෙනි ජාතික ප්‍රමිතිය ලෙස භාවිතයට ගැනෙනු ඇත. මේ සඳහා දැනට භාවිතයේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති සහ ඒවායේ විදුලි කෙවෙනි වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර, නව රැහැන් පද්ධති සකස් කිරීමේදී ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිත කිරීමටද යෝජනා වී තිබේ. එම කෙවෙනි සඳහා වර්ග මිලිමීටර් 2.5 රැහැන් (වයර්) හෙවත් 7/0.67 රැහැන් වර්ගය පමණක් නිර්දේශ කර තිබේ.
මේ යටතේ මෙම නීතිය මේ වසරේ අගොස්තු මාසයේ 16 වැනිදා සිට ක්‍රියාත්මකය. ඒ අනුව 2017 වසරේ අගෝස්තු 16 වැනිදා සිට ජී කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය සපුරා තහනම්ය.
2018 වසරේ අගෝස්තු 16 වැනිදා සිට ජී වර්ගයේ නොවන විදුලි පේනු සහිත විදුලි උපකරණ අලෙවිය තහනම් කරනු ලබන අතර, 2018 වනවිට මෙම නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙයි. මහජනතාව ලෙස මෙම ප්‍රමිතිකරණයට ලක්වීමේදී ඔවුන්ට ඇතිවන ගැටලු සහ ඒවාට විසඳුම් මෙලෙස දක්වන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මහජන උපයෝගිතා කොමිසම ඇමතීමෙන්ද දැනුවත් විය හැකිය.
Q නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව දැනට නිවසේ සවිකර ඇති කෙවෙනි වෙනස් කළ යුතුද?
නැත. දැනට නිවෙස්වල ඇති 5A කෙවෙනිවල ආයු කාලය නිමාවනතුරු ඒ අයුරින්ම භාවිතයට කිසිදු තහනමක් නැත. නමුත් ඉදිරියේදී රටට ගෙන්වනු ලබන හා අලුතින් නිපදවනු ලබන පේනු භාවිතයට තනි පරිවර්තකයක් (කන්වර්ටරයක්) භාවිත කිරීමට සිදුවනු ඇත.
Q නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව නිවසේ රැහැන් පද්ධතිය වෙනස් කළ යුතුද?
නැත. නමුත් තම විදුලි පද්ධතිය සුදුසුකම්ලත් විදුලි කාර්මිකයෙකු ලවා පරීක්ෂා කර නිවැරදිභාවය තහවුරු කරගැනීම වැදගත් වේ. මෙහිදී ඇම්පියර් 5 පද්ධති සඳහා නිසි බහු පද්ධති බිඳුම්කාරක (එම්සීබී) සවි කර ඇති බව තහවුරු කරගත යුතුය.
Q නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව දැනට නිවසේ ඇති විදුලි උපකරණවල පේනු වෙනස් කළ යුතුද?
නැත. අපහසුතාවකින් තොරව භාවිත කිරීම සඳහා 13A-5A සහ 5A-13A තනි පරිවර්තකයක් භාවිත කිරීමට සිදු වේ.
Q නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව අලුතින් විදුලි උපකරණ මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද?
කුඩා උපකරණ මිලදී ගැනීමේදී ඇම්පියර් 13 පේනුවක් ඇතිදැයි පරීක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් වේ. නමුත් ඇම්පියර් 13 වඩා වැඩි ධාරාවක් අවශ්‍ය වන උපකරණයක් මිලදී ගන්නේ නම් එය භාවිත කිරීම සඳහා ඔබ නිවසේ රැහැන් පද්ධතියේ එම උපකරණය සඳහා වෙනම පරිපථයක් භාවිතා කළයුතු අතර, විදුලිය ලබාදීම සඳහා සුදුසු තනිකුරුවක් (isolator) භාවිත කිරීමට සිදු වේ. (උදා-2400 BTU A/C inverter නොවන)
Q නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව නව ඉදිකිරීම්වලදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
නව ඉදිකිරීම්වලදී ඇම්පියර් 13 ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට යෝග්‍ය පරිදි රැහැන් පද්ධතිය සකස් කළ යුතු වේ.
Q දැනට වෙළෙඳ පොළේ ඇති නිෂ්පාදනය කර ඇති හෝ ආනයනය කර ඇති කෙවෙනි හා පේනුවලට සිදුවන්නේ කුමක්ද?
නිෂ්පාදනය සහ ආනයනය සඳහා 2017 අගෝස්තු 17 දක්වා සහන කාලයක් ලබා දී තිබේ. අලෙවිය සඳහා 2008 අගෝස්තු 16 දක්වා සහන කාලයක් ලබා දී තිබේ.
Q දැනට අැම්පියර 06 කෙවෙනි සඳහා රැහැන් සවිකර ඇති පද්ධතිවලදී ජී කාණ්ඩයේ පේනු භාවිත කිරීම සඳහා ඇම්පියර් 13 කෙවෙනි සවි කිරීමට සිදුවේද?
නැත. දැනටමත් මේ සඳහා පිළියමක් ලෙස '6A MAX' ලෙස ඇම්පියර් 13 මුහුණත සහිත ඇම්පියර් 6 කෙවෙනියක් වෙළෙඳ පොළට හඳුන්වාදීමට නිෂ්පාදකයන් විසින් පියවර ගනු ඇත.
මේ සම්බන්දයෙන් වන වැඩිදුර විස්තර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, 06 වැනි මහල, ලංකා බැංකු වෙළෙඳ කුළුණ, 20, ශාන්ත මයිකල් පාර, කොළඹ 03 ලිපිනයෙන් හෝ 0112 392 607 / 8 දුරකථන ඇමතීමෙන් දැනගැනීමට හැකිය.