2012 වසරේ නොවැම්බර් මස 14 වැනිදා මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල ප්‍රදේශයේ ඉඳිගොලපැලැස්ස නම් ගම්බද ප්‍රදේශයට අතිශයින්ම ආගන්තුක වූ අත්දැකීමකට මුහුණපෑමට ප්‍ර‘දේශවාසීන්ට සිදුවිය. සවස 1.00 ට පමණ ආරම්භ වූ මහ වැස්ස අතරමගදී එක්වරම අහස් කුස දෙසින් ගලා ආයේ ලේ රත් පැහැති වර්ෂාවකි. 2012 වසරේ දෙසැම්බර් මස ලෝක විනාශයක අනාවැකි පළ වී තිබීමත් සමගම මෙවැනි වූ කුණු ලේ පැහැති වර්ෂාවක අත්දැකීම අතිශයින්ම ගෙන ආයේ බියකරු හැඟීමකි.
එදා එම රතු පැහැ ගත් රතුවැස්සේ පරීක්ෂණ කටයුත්තේ ආරම්භක ආයතන දෙක වනුයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය හා එවකට බියගම පිහිටි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයයි. (වර්තමානයේ හෝමාගම පිහිටා ඇත) එම රතු වැසි සෛලවල ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ හැදෑරීම් හා වැඩිදියුණු කළ ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණ තුළින් ලබාගත් විද්‍යාත්මක දත්ත ලොව පුරා විද්‍යාඥයන් අතරට යැවීමට ශ්‍රී ලංකාවාසී අපට හැකිවිය.
මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ සිටි කීර්තිමත් තාරකා ජීව විද්‍යාඥයෙකු වන මහාචාර්ය රිචඩ් හූවර්, ජපානයේ අගමැතිවරාගේ විද්‍යා හා තාක්ෂණ උපදේශකයෙකු වූ මහාචාර්ය ටාකුෆුම් මට්සුයි හා මහාචාර්ය ගෙනුස්කි ටොකෝරෝ මෙන්ම ලොව පුරා විද්‍යාඥයන් 30 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙම අද්භූත රතු වැස්සේ පර්යේෂණවලට දායක වූහ. ඉන්දියාවේ කේරලයට ඇදහැළුණු රතු වැස්සේ ප්‍රධානතම පර්යේෂකයා වූ මහාචාර්ය ගොඩ්ෆ්‍රි ලුවිස් ද මීට එක්විය.
රතු වැස්සෙන් ඇරඹී ඉනික්බිතිව කහ වැසි, කොළ වැසි, තැඹිලි වැසි, කළු වැසි දක්වා ගොස් 2012 දෙසැම්බර් 29 වැනිදා පොළොන්නරුව අරලගංවිල කුඩා වැව වෙල් යායකට උල්කාපාත පතිත වීම් දක්වා දිවගිය මෙම සිදුවීම් මාලාවේ සියලු විද්‍යාත්මක පර්යේෂණවලට සහභාගි වීමට මට අවස්ථාව උදා වූයේ එවකට මා මෙන්ම වෛද්‍ය අනිල් සමරනායක (වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ) මහතා හා ස්වාධීන තාරකා ජීව විද්‍යා ගවේෂකයෙකු වූ නදික උදයකාන්ත යන අය තුළ වූ නොතිත් ආශාව හා කැපවීම නිසාවෙනි.
ලෝ ප්‍රකට මහාචාර්යවරුන් හා ලෝප්‍රකට විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන හා එක්ව කළ ගවේෂණවල ප්‍රතිඵල මගින් රතු වැසි සෛලය හා අරලගංවිල උල්කාපාතය තුළ වූ සෛල හා අනෙකුත් මූලද්‍රව්‍ය හා සමස්ථානික හැදීරීම් තුළින් එම රතු වැසි සෛලය පිටසක්වල ජීවය පවතින බැව් තහවුරු කරන්නාවූ සාධකයක් වීම තුළ මෙම සොයාගැනීම විදුලොව කැළඹීමට පත් කළේය.
නමුත් එවකට මෙම රතු වැසි සෛලය මෙන්ම උල්කාපාතවල විද්‍යාත්මක හැදෑරීම් දැඩිව විවේචනයට හා ගැරහීමට ලක්කිරීමට යම්කිසි ශ්‍රී ලාංකික විද්‍යාත්මක ප්‍රජාවක් උත්සාහ කිරීම හේතුවෙන් තුළ ලොව කුඩා තිතක් වූ ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ සුවිශේෂී ස්ථානයක් අහිමි වී ගිය බවද ලියා සටහන් කළ යුතුමය.
ඔක්සිජන් සමස්ථානික පරීක්ෂණය මගින් මෙම පොළොන්නරුව උල්කාපාතය පොළොවේ දූෂ්‍ය නොවූ බැව් සනාථ කළ අතර, එහි වූ ඉරිඩියම් අන්තර්ගතය මෙන්ම හැෆ්නියම් (HF) හා Zr (සර්කෝනියම්) වැනි බැරලෝහ අන්තර්ගත වූ අතර, ඇන්ටාක්ටිකාවේ අයිස් ෆොසිල තුළ පවතින ඩයටම කාණ්ඩයන්ද එහිදී සොයාගන්නා ලදී. අතිශය පුදුමාකාර කරුණ වනුයේ එම උල්කාපාත තුළ වූ ඩයටම කාණ්ඩයට සමාන වූ ඩයටම කාණ්ඩයන් 2014 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සොයාගැනීමෙනි. වසර දෙක තුළදී රතු වැසි සෛලය තුළින් හා පොළොන්නරුව උල්කාපාතය තුළ වූ සජීවී ඩයටම තුළින් විශ්වය පුරා පවතින ජීවයේ සාධක ගැරහුමට ලක්කළ අයගේ දෙනෙත් විවර කරවන්නක් විය.
ශ්‍රී ලංකාව තුළ විවේචනය කරමින් සිටි සමහර විද්‍යාඥයන් වික්ෂිප්ත කරමින් ලෝ ප්‍රකට 'ඩිස්කවරි' නාළිකාව ශ්‍රී ලංකාවේ වූ මෙම අපූර්ව සිද්ධිය හා එහි වූ විද්‍යාත්මක යථාර්ථය ලෝකයා වෙත ගෙන යාමට අති විශිෂ්ට වාර්තාමය වැඩසටහනක් නිපැයූ අතර, එය අද ලොව පුරා මිලියන ගණනක් නරඹා ඇත.
ශ්‍රී ලංකාවේ රතු වැස්ස හා උල්කාපාත මගින් සනාථ වූ පිටසක්වල ජිවී පැවැත්මේ යථාර්ථය පිළිබඳ ජපානයේ මහාචාර්ය ටකාෆුම් ටට්සුයි ජපන් බසින් ග්රන්ථයක් පළකළ අතර, එය ජපානය පුරා අතිශය ජනප්‍රිය වූවක් ලෙස සැලකේ.
මෙම මිහිතලයේ කුඩා තිතක් වූ ශ්‍රී ලංකාවාසී විද්‍යාර්ථීන් සිදු කළ පර්යේෂණයක් අරභයා ඩිස්කවරි නාළිකාව මීට පෙර එවැනි වූ වාර්තා වැඩසටහනක් නිපදවූවාදැයි සැකසහිතය.
එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවාසී විද්‍යාඥයන් දායක වූ ශ්‍රී ලාංකේය ධරණි තලය තුළ වූ සිදුවීමක් අරඹයා ජපානයේ විශිෂ්ටතම රූපවාහිනී නාළිකාවක් වන NHK රූපවාහිනී නාළිකාව මෙම මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ පොළොන්නරුව උල්කාපාතය හා රතු වැස්සේ සෛල තුළින් හෙළි වූ පිටසක්වල ජීවයන්ගේ කතාව ලොව පුරා ගෙනයන්නටය.
විද්‍යා තාක්ෂණ දැනුමෙන් ලොව බලවත් ඇමෙරිකාව, රුසියාව වැනි රටවල් අභ්‍යාවකාශ තාක්ෂණයට ඩොලර් බිලියන ගණනින් වියදම් කරද්දී අතිශය අහඹු ලෙස ඇදවැටුණු රතු වැස්ස හා උල්කාපාත මගින් මෙම විද්‍යාත්මක කරුණු ලොව පුරා පර්යේෂකයන් හා එක්ව පරීක්ෂණ කරන්නට අපට අවස්ථාව ලැබීම මහඟුභාග්යයකි. මෙම විද්‍යාත්මක පර්යේෂණයන් පිළිබඳ ලොව පුරා පර්යේෂණ පත්‍රිකා (ශ්‍රී ලංකාව හා එක්ව) 40 ක් පමණ මේ වනවිට සුප්‍රසිද්ධ විද්‍යාත්මක සඟරාවල හා විද්‍යාත්මක සැසිවලදී එළිදක්වා ඇත. එම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවල බහුතරයකගේ සමකර්තෘත්වයක් මෙම ලියුම්කරුට හිමි වී ඇති අතර, ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ලෙස එය නිහතමානී ආඩම්බරයක්ද එක්කරන බැව්ද සටහන් කළ යුතුමය.
වසර 04කට පෙර ශ්‍රී ලංකාවට විද්‍යාත්මක ලොකයේ හිමිවීමට තිබූ ස්ථානයක් අහිමි වුවද ජපානයේ NHK රූපවාහිනිය මගින් ශ්‍රී ලංකාවේ පොළොන්නරුව අරලගංවිල නම් වූ ස්ථානය පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම ලොව තහවුරු වූ ස්ථානය ලෙස (විද්‍යාත්මකව) ප්‍රචාරය කරනු නිසැකය. ශ්‍රී ලංකා ධරණී තලය සම්භාවනාවෙන් සම්භාවනාවට පාත්රවන මෙම සිදුවීම වූ අරලගංවිල, කුඩාවැව වෙල්යායට එම ගෞරවය හිමවන්නේ කවදාද?